prema-jayalath-gurunnanse sinhala wal katha 2013

Nomeeru Daruwange As Raka Ganimu නොමේරූ දරුවන්ගේ ඇස් රැක ගනිමු

 

ගර්භණී සමයේ සති 32කට අඩු කාලයකදී උපත් බර කිලෝග්‍රෑම් 1.5ට අඩු ළදරුවන්ගේ ඇස් වල ඇතිවිය හැකි ආබාධ ගැන ඔබ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. එවැනි දරුවන්ගේ ඇස් තවමත් නිසි ලෙස වැඩී නොමැති නිසා, ඔවුන් අන්ධ භාවයට පත්වීමේ අවදානමක් පවතී. නමුත් බොහෝ විට නිසි වෛද්‍ය ප්‍රථිකාර මගින් දරුවාගේ ඇස් පෙනීම රැක ගත හැක.

 

මෙම තත්ත්වයේදී ඇසේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද?

ඇසේ සාමාන්‍ය රුධිරනාල වැඩීම සිදුවන්නේ සති 28ත් 42ත් අතර මවුකුස තුලදීය. නමුත් ළදරුවා සති 32ට පෙර බිහිවූ විට ඇසේ අසාමාන්‍ය රුධිරනාල වැඩීමක් සිදුවිය හැක. මෙම තත්ත්වයට හරියටම හේතු අවබෝධ කරගෙන නොමැති වුවත් ඉතා කුඩා ළදරුවන් මෙම තත්ත්වයට ගොදුරුවන හැකියාව වැඩිවේ.

 

ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද?

මෙම තත්ත්වය මුලදී හඳුනා ගතහොත් ලේසර් ප්‍රතිකාරය මගින් ඇසේ අසාමාන්‍ය රුධිර නාල වර්ධනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මගින් දරුවාට සාමාන්‍ය පෙනීම ලබාගත හැක. මේ සඳහා මවුවරුන් වන ඔබේ සහයෝගය වෛද්‍යවරුන්ට අවශ්‍යයි. ඒ ඔබේ දරුවාව නියමිත දිනයට සායනයට රැගෙන ඒම මගින්.

 

ඇස් පරීක්ෂාවට සූදානම් කිරීමේදී දැනගත යුතු කරුණු

ඇස් පරීක්ෂාවට පෙර කනීනිකාව විශාල කිරීම සඳහා විනාඩි 20කට ප්‍රථම ඇසට බෙහෙත් දැමිය යුතුයි. ඇසට බෙහෙත් දැමීමෙන් පසු කිරි දෙන්න එපා. ඇස් පරීක්ෂා කිරීම අවසන් වූ වහාම කිරි දෙන්න. ඇසේ කබ ගැලීමක්, උණ හෝ වෙනත් රෝගී තත්ත්වයක් තිබේ නම් වෛද්‍යවරයාට හෝ හෙද නිළධාරිනියට දන්වන්න. මේරු ළදරුවන්ට වඩා නොමේරූ ළදරුවන්ට ඇස් කණ්නාඩි භාවිතා කිරීමට සිදුවිය හැකිය. ROP තත්ත්වයට මුහුණ දුන් ළදරුවන්ට ඇස් කණ්නාඩි පැළඳවීමට ඇති ඉඩකඩ තවදුරටත් වැඩිය. මෙම තත්ත්වය කලින් හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් සුව කල හැක.

 

ඉතා වැදගත්

ඔබේ දරුවා ඉපදුනේ අඩු මාස/සති ගණනකින් නම්, ළමා අක්ෂි වෛද්‍ය සායනයකින් දරුවා පරීක්ෂාවට ලක්වන බවට වග බලා ගන්න.