Obe Hisakes Obatama Wadayakda? ඔබේ හිසකෙස් ඔබටම වදයක්ද?

 

ඔබේ හිසකෙස් ඔබටම වදයක්ද? නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කළ යුතු දෑ මෙන්න

 

හිස කෙස් හිසරදයක් ද?

මේක මොන කරදරයක්ද? “කපලා දාන්න ඇත්නම්. තිබුණා කියලා ඇති ලස්සනකුත් නෑ,” මෙහෙම හිතෙන ගොඩක් අයට තමන්ගේ හිසකෙස් ගැන තියෙන්නේ කණගාටුවක් සහ දුකක්. ඒ කණගාටුව තමයි ඔය විදියට ප්‍රකාශ වෙන්නේ.

එහෙම වෙන්නේ ඇයි

හිසකෙස් කියන්නේ ගැහැණියකට ආභරණයක්. ලස්සන දිග සේද වගේ කොණ්ඩයක් දිහා ගැහැණු පිරිමි බේදයක් නැතිව දෙපාර්ශවයෙම ඇහැ යනවා. හිසකෙස්වල වටිනාකම ගැන කතාවුණෙත් අද ඊයෙක නෙමෙයි. පංච කල්‍යාණයට හිසකෙස් ඇතුලත්වුණේ ඒකනේ.

  • හිසකෙස් රළුයි.
  • තැන තැන පළුදු වෙලා.
  • ඇල්ලුවත් ඇති ගැලවිලා අතට එනවා.
  • දුර්වර්ණ වෙලා.
  • ලේසියට වැවෙන්නේ නැහැ.
  • උකුණන් බෝවෙනවා.
  • ඉස්හොරි හැදෙනවා.
  • දිග වැඩියි, දාඩියයි.

මෙන්න මේ වගේ හේතු නිසා අපිට අපේ හිසකෙස් හිසරදයක් බවට පත්වෙලා. මේ හිසරදය කොයිතරම්ද කිව්වොත් ඇතැම් වෙලාවට මානසික පීඩනයක්.හිසකෙස් නිසා කාන්තාවකගේ සුන්දරත්වය වැඩිවන බව සත්‍යයක්. ඒත් මේ වගේ ප්‍රශ්නත් එක්ක කොහොමද හිසකෙස් ලස්සනට තියාගන්නේ??

 

අපිට කොහෙන්ද සේද වගේ ලස්සන කොණ්ඩයක්??

හිසකෙස්වල ලස්සන රඳාපවතින්නේ හිසකෙස්වල දිග ප්‍රමාණය හෝ හැඩය මත නෙමෙයි. හිසකෙස්වල සුන්දරත්වය රඳා පවතින්නේ නිරෝගීභාවය කියන කාරණයත් එක්ක. අපිට ස්වභාවයෙන් උරුමවුණ කේශ කල්‍යාණය රෝගී වන්නේ උත්පත්ති හේතුවක් මත නම් ඊට වෛද්‍ය ප්‍රතිකාර හැරෙන්න වෙනත් පිළියම් නැහැ. ඒත් අපේම වැරදි චර්යාවන් නිසා හිසකෙස් දුර්වලවී ඇත්නම් ඊට විසඳුම් තිබෙන්නෙත් අපි ළඟමයි.

 

ඉස්සෙල්ලම නොසැළකිල්ල මට්ටුකරලා ඉමු

අපිට හිසකෙස් හිසරදයක් වෙලා තියෙන්නේ අපේ වරදින්මයි. ඉස්සෙල්ලාම අපි පුරුදුවෙන්න ඕනෙ අපිට ආදරය කරන්න. දෙවනුව අපි අපේ හිසකෙස් වලටත් ආදරය කරන්න ඕනේ. මිනිස් හිසක හිසකෙස් ලක්ෂයක් විතර තියෙනවා. හැම දිනකම කෙස්ගස් සියයක් විතර ගැලවිලත් යනවා. ඊට අමතරව අපේ වරදිනුත් හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවීයනවා. පුදුමයි නේද මේ තරමින් හරි ඔළුව බේරුණ එක? ඉස්සෙල්ලාම පිළියම් සොයන්න ඔිනේ අපේ නොසැලකිල්ලට.

  • සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් නොවීම
  • අනවශ්‍ය තරම් රසායනික සත්කාරවලට යොමු වීම
  •  රසායනික සත්කාරවලට පසු නියමිත උපදෙස් අනුගමනය නොකිරීම
  • අවශ්‍ය ප්‍රමාණයට ස්නානය නොකිරීම සහ අවේලාවේ ස්නානය
  • සතියකට වරක්වත් තෙල් සාත්තුවක් සිදුනොවීම
  •  පීනස වැනි රෝගී තත්වයන් පාලනය කරගැනීමට උත්සාහ නොගැනීම
  •  හිස පීරීමට ඇති නොකැමැත්ත සහ ඊට ඉවසීමක් නොවීම
  •  නිදිමැරීම, මානසික ආතතිය වගේ තත්වයන්
  •  ගැලපෙන ෂැම්පු වර්ගයක් තෝරා නොගැනීම
  •  කන්ඩිෂනර් වර්ගයක් භාවිතා නොකිරීම

හිසකෙස් සම්බන්ධ සාම්ප්‍රධායික ගැටළුවලට හේතු මේ ආකාරයට පෙළගැස්විය හැකි වුණත් මීට වඩා සංකීර්ණ තත්වයන්ද ඇතිවෙනවා.  අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යනවා නම් එය කිසියම් රෝගී තත්වයක පෙරනිමිත්තක් විය හැකියි. එවන් විටෙක වහාම වෛද්‍යවරයෙකු  මුණගැසී ප්‍රතිකාර ගතයුතුයි. ඇතැම් වෛද්‍ය ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙසත් හිසකෙස් ගැලවී යන්න පුළුවන්. මෙවැනි අසාමාන්‍ය තත්වයන් හැරුනකොට හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොමයකට අපිටම උත්තර හොයාගන්න පුළුවන්. රූපලාවන්‍ය සත්කාර වගේම හොඳ සෞඛ්‍ය පුරුදුත් අපේ හිසකෙස්වල සුන්දරත්වයට එකසේ වැදගත්.