Advertisement Gurukam Advertisement

ඔසප් චක්‍රයආර්තවහරණය හෙවත් ආර්තවභාවය (ර්ඥදධනචභඵඥ) යනු ආර්තව ක්‍රියාවලිය නතර වීමයි. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ආර්තවහරණ ක්‍රියාවලිය වයස අවුරුදු 45ත් 55ත් අතර කාලයකදී සිදුවේ. ඇතැම් අවස්ථාවල වයස අවුරුදු 45ට පෙරද ආර්තවහරණයට ලක්වන කාන්තාවන් සිටී. ඇතැම් අවස්ථාවල ඩිම්බ කෝෂ ශල්‍යකර්මයකින් ඉවත් කළ විට කෘත්‍රිම ආර්තවහරණය ඇතිවේ. සාමාන්‍යයෙන් ආර්තවහරණයට පත්වී ඇතැයි සැලකෙන්නේ අවසන් වරට ඔසප් වීම සිදුවී මාස 12ක් පමණ ගත වූ විටය.


ආර්තවහරණය පෙර ලක්ෂණ
ආර්තවහරණය සිදුවීමට පෙර වසර හතරක පමණ කාලයක් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩාළ වීම සිදුවේ. මෙම කාලවකවානුව තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ඊස්ට්‍රජන් හා ප්‍රජේස්ටරෝන් හෝමෝන ක්‍රම ක්‍රමයෙන් පහළ යන අතර, ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීමත් සමග කාන්තාවට විවිධ ශාරීරික හා මානසික වෙනස්වීම්වලටද මුහුණ දීමට සිදුවේ.
ආර්තවහරණය සිදුවීමට මුල පුරන කාලයේ ආර්තව චක්‍රයේ වෙනස්වීම්ද සිදුවිය හැකිය. ඒ අනුව මෙම කාලය තුළ ආර්තව චක්‍රය කෙටි වීම හෝ දීර්ඝ වීම සිදුවිය හැක.


ආර්තවහරණය ආසන්නවත්ම බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන තත්ත්වයක් වන්නේ ඇඟ උණුසුම් වීම හා රාත්‍රියට දහඩිය දැමීමයි. මෙම තත්ත්වය පහළ වන විට අධික ලෙස දහඩිය දැමීම සිදුවන අතර සීතල දේශගුණික තත්ත්ව යටතේ පවා මෙම දහඩිය දැමීම සිදුවිය හැක. මෙහිදී සැණෙකින් ඇඟ රත්වීම සිදුවන අතර පපුවේ ගැස්ම, හතිය, ක්ලාන්තය ආදී ලක්ෂණ ඇතිවේ.
ඇතැම් කාන්තාවන්ට රාත්‍රී කාලයේ නිතර නිතර ඉහත තත්ත්වයන් ඇතිවන නිසා නින්ද නොයෑමේ ගැටලු ඇතිවිය හැක. ඊස්ට්‍රජන් හෝමෝනයේ අඩුකම නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් ගැනීම නිසා ලිංගික ක්‍රියාවලිය කෙරෙහි උනන්දුවක් නොමැති වන අතර, ලිංගික එක්වීමකදී වේදනාවක් ඇතිවේ. සම රැළි වැටීම, මූත්‍රා මාර්ගයේ ආසාදන සහ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුකම නිසා අස්ථි බිඳීමේ ප්‍රවණතාව සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩිය. මෙම කාන්තාවන්ට ඔස්ටියෝ‍පොරොසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩි වේ.


ආර්තවහරණයට පෙර සිදුවන මානසික වෙනස්කම්
කායික වෙනස්කම් තරමටම මානසික වෙනස්කම්වලටද මෙම කාන්තාවන්ට මුහුණ දීමට සිදුවේ. අමතක වීම, විෂාදය, නුරුස්සනසුලු ස්වභාවය මෙන්ම මානසික ආතතිය ආදියයි. මෙම ලක්ෂණ රෝගී ලක්ෂණ නොවූවද ඇතැම් කාන්තාවන්ට මේවා පීඩාකාරී ස්වභාවයක් ගනී. එම පීඩාකාරී බව කාලයක් පැවැතිය හැකි අතර මේ හේතුව නිසා වැඩිපුරම මානසික කැලඹිල්ලෙන් කටයුතු කරනු දැකිය හැක.
ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු වුවහොත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ගැබ්ගෙල හා ගර්භාෂයේ රෝග හා වෙනත් රෝග ඇද්දැයි පරීක්ෂා කරගත යුතුය.


වෙනත් රෝග තත්ත්වයන්
ආර්තවහරණය සමග අධික රුධිර පීඩනය, පියයුරු පිළිකාවලට ඇති අවදානම වැඩිවන හෙයින් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීම වැදගත්ය. ආර්තවහරණය රෝග ලක්ෂණයක් නොවූවද ඇතැම් පීඩාකාරී තත්ත්වයන් නිසා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එහිදී ඊස්ට්‍රජන් හා ප්‍රජෙස්ටරෝන් අඩංගු හෝමෝන වර්ග ඉතා කෙටි කාලයක් සඳහා (ඇතැම් අවස්ථාවල) නිර්දේශ කරනු ලැබේ.
යෝනි මාර්ගය ආශ්‍රිතව වියළි ස්වභාවයක් ඇති විටෙක ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැක. කෙසේ වුවත් මෙහිදී ඖෂධවලට වඩා වැදගත් වන්නේ මෙම අවස්ථාව පිළිබඳ නිසි අවබෝධයක් සහිතව එය තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි.


මෙම අවස්ථාවට සාර්ථකව මුහුණ දීම
රෝගයක් නොවූවත් සිරුරට පීඩාකාරී බවක් එක්වන බොහෝ අවස්ථාවල ඉවසීමෙන් හා අවබෝධයෙන් එය ජය ගැනීම කළ හැක. මෙහිදී සමබර ආහාර වේලක් ගැනීම, උසට සරිලන අයුරින් බර පවත්වාගෙන යෑමත් වැදගත් වේ. මෙයට අමතරව දිනකට පැය භාගයක්වත් ව්‍යායාමවල යෙදීම වැදගත් අතර මත්ද්‍රව්‍යවලින් වැළකීමත්, සෘජුව හෝ වක්‍රාකාරව සිදුවන දුම්පානයෙන් ඈත්වීමත් වැදගත් වේ.
මෙම කාලය තුළ මානසික සතුට වැදගත් බැවින් දුවා දරුවන් සමග සතුටින් කාලය ගත කිරීමේ අවස්ථාව උදාකර ගැනීම වැදගත්ය. අධ්‍යාත්මික දේවලට වැඩිපුර කාලය යෙදවීම මගින් මානසික සහනය ලබාගත හැකි අතර ආර්තවහරණයට පෙර සිදුවන වෙනස්කම්වලට ගොදුරු වීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

වෛද්‍ය ඉන්දික එල්ලාවල
ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, දෙහිවල

සටහන- දීපා වසන්ති එදිරිසිංහ (රිවිර)