Papola පැපොල

 

බෝවෙන රෝග දෙවියන්ගේ ලෙඩ ලෙසයි ඒකාලේ අපේ මුතුන් මිත්තෝ හැඳින්වූයේ. මේ දෙයියන්ගේ ලෙඩට කිසිදු ප්‍රතිකාරයක් නොකොට නිවාස අඩස්සියේ තබා ගන්නේ, රෝගය අන් අයට බෝවෙන නිසා.

විශේෂයෙන් ‘පැපොල’ වැනි රෝගයකදී කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව නිවසේ තබා ගැනීමේදී ඇතැම් විට ‘පැපොල ‘ රෝගයේ ඇතිවන බිබිලි ආසාදනයට ලක්වී නොයෙකුත් සංකුලතා ඇති වන්නට පුළුවන්. එවිට වෛද්‍යවරයකු වෙත නොගිහින්ම බැහැ. ඇත්තටම මේ ‘පැපොල’ රෝගයට ප්‍රතිකාර ගත යුතුමද?

වෛද්‍ය විද්‍යාව හාස්කම්පාන වර්තමානයේ මෙවැනි රෝගයකට ප්‍රතිකාර නොකළොත් මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ආරෝග්‍යා දැනුවත් කරනුයේ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතායි.


පැපොල රෝගය ඇතිවන්නේ කෙළෙසද?

පැපොල රෝගය ඇතිවන්නේ වෛරසයක් මගින්. මේ වෛරසය හඳුන්වන්නේ චිකන්පොක්ස් Chickenpox හර්පීස් Herpes ඝනයට අයිති වෛරස් එකකින් (Herpes Zoster)


පැපොල බෝවන රෝගයක්. මෙම රෝගය බෝවන්නේ කිනම් ආකාරයටද?

පැපොල ස්වසන මාර්ගයෙන් පහසුවෙන් බෝවිය හැකි රෝගයක්. රෝගියාගේ ප්‍රාශ්වාස වාතය නිරෝගී පුද්ගලයකුට ආශ්වාස කිරීමට ලැබීමෙන් මේ රෝගය බෝවෙනවා.

පැපොල රෝගය බෝවෙන්නේ හුස්ම ගැනීමෙන් පමණක්ද? රෝගියා පරිහරණය කළ ඇඳුම් පැළඳුම් පාවිච්චි කළ ආහාර පාන - කෙළ ආදියෙන් බෝවෙන්නේ නැද්ද?

නැහැ. රෝගියා පරිහරණය කළ කිසිදු දෙයකින් බෝවෙන්නේ නැහැ. ජලයෙන්, කෙළ වලින් බෝවෙන්නේ නැහැ

. මෙම රෝගය බෝවීමට විශේෂිත වූ වයස් සීමාවක් තිබෙනවාද?

නැහැ. ඕනෑම වයසකදී බෝවිය හැකියි. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එක ලෙස බෝවෙනවා. නමුත් කුඩා දරුවන්ට පැපොල බෝවීමේ ප්‍රවණතාවය වැඩියි. හේතුව සාමන්‍යයෙන් ඕනෑම ලෙඩක් ඉක්මණින්ම බෝවෙන්නේ කුඩා දරුවන්ට නිසා. කුඩා කාලයේදී මෙම රෝගය වැළඳීමේදී ඇතිවන සංකුලතා වැඩිහිටි වියේදී පැපොල වැළඳීමේදී ඇතිවන සංකුලතාවලට වඩා අවමයි. නමුත් වඩාත්ම වැදගත් වන්නේ පැපොල රෝගයෙන් වැළකීමයි.


පැපොල රෝගයේ රෝග ලක්ෂණ මතු වන්නේ විෂබීජය ශරීරගතවී කොපමණ කාලයකට පසුවද?

විෂබීජය ශරීරගතවී දින 18 පමණ සති 2 සිට සති 3 අතර කාලයක් ගතවනවා. ඉන් අනතුරුවයි රෝග ලක්ෂණ මතු වන්නේ. මූලිකව රෝග ලක්ෂණය ලෙස අපි දකින්නේ උණ ඇති වීමයි. තරමක් සැරට උණ ගන්නවා. දෙවැනි - තුන්වැනි දිනවල ශරීරයේ බිබිලි දැමීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඕනෑම රෝගයකට මූලික ලක්ෂණ උණ බැවින් මෙය බෝවෙන පැපොල වශයෙන් දැනගත හැකි වන්නේ සිරුරේ බිබිලි හට ගැනීමෙන් අනතුරුවයි.

බිබිලි වල දියර පිරෙන්නට පටන් ගන්නවා. පසුව දියර පැසවීමට ලක්වී අවසානයේදී කබොලක් බවට පත්වනවා. බිබිලි තුන්වැනි දිනයේ සිට දින හතක් යනතෙක් මතුවන අතර සමහර බිබිලි පැසවන කාලයේදී අලුත් බිබිලි මතුවන්නට පටන් ගන්නවා.


මේ ඇතිවන බිබිලි වල ස්වරූපය කෙබඳුද?

මේ බිබිලි ඇතිවී මුල් දවසේදී අපට දක්නට ලැබෙන්නේ පාරදෘෂ්ටි තත්ත්වයක්. ක්‍රමයෙන් පැසවූ ස්වරූපයක් ඇති වී පසුව කබොලක් බවට පත්වනවා. මේ බිබිලි කබොල බවට පත්වන්නට සතියක් පමණ කළක් ගතවනවා. ඇතැමුන්ට බිබිලි ඇතිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඇතැමුන්ට වැඩි වෙනවා. මේ අඩු වැඩිවීම රඳා පවතින්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය මතයි.

පැපොල වැළඳීමෙන් අනතුරුව යම් යම් සංකුලතා ඇතිවන බව ඔබ පැවසුවා. මොනවද මේ සංකුලතා?

පැපොල වැළඳී සති 2 - 3 ඇතුළත සම්පූර්ණයෙන්ම සුව වුණත් එම රෝග විෂබීජය ශරීරය තුළ තිබෙනවා. ඇතැම් විට වසර 20 - 30,40 කට පසුව මෙම රෝග විෂබීජය වෙනත් රෝගයක් ලෙස මතුවනවා. එම රෝගය හඳුන්වන්නේ හර්පීස් සොස්ටර් (Herpes Zoster) ලෙසින්. පැපොල වැළඳුනු සියලු දෙනාටම (Herpes Zoster) ඇතිවන්නේ නැහැ. නමුත් වයසට යෑමත් සමඟ අපගේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වී යටපත් වූ විෂබීජය හිස ඔසවා එන්නට පුළුවන්.


හර්පීස් සොස්ටර් ලෙස හඳුන්වන මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?


ශරීරයේ එක පැත්තක තීරුවක් මත බිබිලි මතු වනවා. හර්පීස් සොස්ටර් රෝගය වැළඳුන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට පැපොල වැළඳී තිබෙන්නට ඕනෑ. හර්පීස් සොස්ටර් රෝගයත් බෝවෙනවා. මෙම රෝගය බෝවීමේදීත් බෝවන්නේ හර්පීස් සොස්ටර් ලෙස නොවෙයි. පැපොල රෝගය ලෙසයි. ‘හර්පිස් සොස්ටර්’ වැළඳීමේදී ස්නායු වලටත් බලපෑමක් සිදුවන නිසා අධික වේදනාවක් ඇතිවනවා. වයසට යාමේදී ප්‍රතිශක්තිකරණය හීනවීම නිසා ‘හර්පීස් සොස්ටර්’ රෝගීන්ට දීර්ඝ කාලයක් මේ රෝගයේ සංකුලතා ඇති වී වේදනාවත් දිගු කළක් පවතිනවා.


‘හර්පීස් සොස්ටර්’ වැළදෙන්නේ සිරුරේ වෙන කුමන කොටස් වලද?

සමහරවිට මුහුණේ පවා ඇති වන්නට පුළුවන්. සමහර විට ඇස ප්‍රදේශයේ ඇති වුවහොත් ඇස අන්ධ වන්නටත් පුළුවන්.


පැපොල රෝගය නිසා ඇතිවන සංකුලතා මතුවන්නේ වසර ගණනකට පසුව පමණද?

නැහැ පැපොල සෑදුණු පුද්ගලයන් බිබිලි වලට නොයෙකුත් ආලේපන ආලේප කිරීම නිසා විෂබීජ ඇතුල් වී බිබිලි ආසාදිත තත්ත්වයකට පත්වන්නට පුළුවන්. එවිට තුවාලමය තත්ත්වයක් උදාවිය හැකියි.

පැපොල් රෝගියකු මතක තබාගත යුතු කරුණු වන්නේ කිසිදු ආලේපනයක් ආලේප නොකොට ස්වභාවිකව බිබිලි සතියකට පසු කබොල් බවට පත්වන තෙක් සිටීමයි. එය ඉබේම හොඳ වෙනවා. එසේම පැපොල වැඩිහිටියන්ට වැළඳුනුවිට ඇතැමුන්ට නියුමෝනියාව ඇති වන්නට ඉඩ තිබෙනවා. එම නියුමෝනියාව දරුණු තත්ත්වයකට පත්වන්නට පුළුවන්.

ඊට අමතරව පැපොල වෛරස මොළේට බලපෑම් කොට මොළේ Encephalitis තත්ත්වයක් ඇතිවනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. කුඩා දරුවන්ට පැපොල වැළඳෙනවාට වඩා වැඩිහිටියන්ට පැපොල වැළඳීමේදී මොළේ ඉදිමීම Encephalitis තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.

ඒ සමඟම හෘද වස්තුවට බලපෑම් සිදුකර වයෝකාඩයටීස් තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන්.

පැපොල එවකට බොහෝ දෙනා හැඳින්වූයේ ‘දෙයියන්ගේ ලෙඩ’ යනුවෙන්. පැපොල රෝගයට ප්‍රතිකාර කිරීමක් සිදු කළේ නැහැ. වර්මානයේ ඒ තත්ත්වය වෙනස් නේද?

1980 ගණන් වනතුරු පැපොල රෝගයට ප්‍රතිකාරයක් තිබුණේ නැහැ. හේතුව මෙය වෛරස් රෝගයක්. ප්‍රතිජීවක ලබා දෙන්නේ බැක්ටීරියාවකින් වැළඳුනු රෝග සඳහා පමණයි හේතුව බැක්ටීරියා මර්දනය කළ හැක්කේ ප්‍රතිජීවක (antibiotic) වලට පමණක් නිසා. ප්‍රතිජීවක වලින් වෛරස් විනාශ කරන්නට නොහැකි නිසා පැපොල රෝගයට ප්‍රතිජීවක ලබා දුන්නේ නැහැ.

1980 ගණන් වලදී මෙම වෛරස් මරණ ඖෂධ සොයාගැනීමෙන් අනතුරුව හර්පීස් නැමැති පැපොල සාදන වෛරසයටත් ඖෂධ සොයා ගනු ලැබුවා. එය හඳුන්වන්නේ ‘acyclovir’ නමින්. මෙම ඖෂධය ලබා දෙන්නේ මෙම වෛරසය මර්දනය කිරීමටයි.

උණ සැදී බිබිලි එක දෙක ආවිට වෛද්‍යවරයකුගේ නිර්දේශය මත මෙම ඖෂධය ලබාගත යුතුයි. එවිට බිබිලි මතුවන්නේ නැහැ. අපහසුතා කිසිවක් ඇති නොවී රෝගය සුව වනවා. මේ ඖෂධය නිසා මුළු සිරුර පුරාවට බිබිලි ඇතිවන්නේ නැහැ. ඒ සමඟම මෙම ඖෂධය නිසා මොළයට බලපෑම් සිදුවීම, නියුමෝනියාව වළකිවනවා. මේවා පෙති වශයෙන් ගත හැකියි. මෙම acyclouir නැමැති antivirals ඖෂධය ලබාදීමෙන් රෝගය මර්දනය වී රෝග ලක්ෂණ අඩු වී සාමාන්‍ය රෝගයක් බවට පත්වනවා.

ඇතැම් අයට පැපොල රෝගය වැළඳී අවසානයේදී සිහි මද ගතිය ඇතිවනවා. එයට හේතුව මොළේ ඉදිමී එන්සෙෆර්ලයිටීස් බවට පත්වීමයි. එවිට මෙම ඖෂධය එන්නත් මාර්ගයෙන් රෝගියාට ශරීරගත කළ යුතුයි. මේ අවස්ථාවේදී රෝගියා රෝහල්ගත කළ යුතුයි.

ඒ නිසා පැපොල හැදුනු වහාම මේ ඖෂධය ලබාගත යුතුමයි. මේ හරහා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. කිසිදු සංකුලතාවක් ඇති වන්නේ නැහැ. පැපොලට බෙහෙත් තිබෙනවා.

ඒ නිසා බෙහෙත ලබාගෙන පැපොල සුවකර ගන්න. මෙම බෙහෙත ලබා ගැනීම නිසා පැපොල පිට දැමීමක් හෝ නැවත පැපොල හැදීමක් ගැන යමෙක් පවසනවා නම් එය මිත්‍යාවක්. නමුත් මේ ඖෂධය ලබා ගත්තත් හර්පීස් සෙනස්ටර් හැදෙන්නට පුලුවන්.


පැපොල සැදුන රෝගියකුගෙන් තව කෙනෙකුට බෝවෙන්නේ කිනම් කාලයකද?

උණ සෑදී දින දෙක තුනෙන් බිබිලි හටගත් අවස්ථවේදීම බෝවන්නට පටන් ගන්නවා. පැපොල විෂබීජය ශරීරගත වී සති 2 - 3 ඇතුලත කිසිවකුට බෝවෙන්නේ නැහැ. රෝග ලක්ෂණ පැමිණි පසුවයි බෝ වෙන්නේ. උණ වැළඳුනු දා පටන් සතියක් වනතුරු පැපොල රෝගයේ කබොල වැටෙන තුරු බෝවෙනවා. ඉතාමත් ඉක්මණින් සහ පහසුවෙන් මෙම රෝගය බෝවෙනවා.


පැපොල රෝගය වැළඳීමෙන් වළක්වා ගැනීමට ගතයුතු පිළියම් කුමක් ද?

ඒ සඳහා එන්නතක් තිබෙනවා. පැපොල වැළඳීමෙන් ආරක්ෂා වීමට. පැපොල දෙයියන්ගේ ලෙඩ ලෙස හැඳීන්වුවද එය කිසිදු මිත්‍යා බලයකින් ඇතිවන රෝගයක් නොවෙයි. වෛරසයකින් ඇතිවන රෝගයක් නිසා විෂබීජය ශරීරගතවීමට පෙර එන්නත් ලබා ගතහොත් රෝගය වැළඳීමෙන් වළක්වා ගත හැකියි.


මෙම රෝගයට ආහාරපාන ගැන විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුද?

නැහැ. සාමාන්‍යයෙන් වෙනදා ආහාරයට ගන්න. මස් මාළු ඕනෑම දෙයක් ආහාරයට ගත හැකියි. සාමාන්‍යයෙන් තමන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආහාරපාන ගතයුතුයි. මෙම රෝගය ආහාර මාර්ගයට බලපෑම් ඇති කරන රෝගයක් නොවෙයි.

පැපොල සුව වී කබොල ගැලවී ඉවත් වූ පසු නෑමට ද පුළුවන්. සාමාන්‍යයෙන් දින 14කට පසු රැකියාවට හෝ පාසලට යා හැකියි. කබොල තිබෙන තෙක් සාමාන්‍ය කටයුතුවල සහ සමාජ ඇසුරේ නොගැවසී සිටිය යුතුයි.


පැපොල රෝගය සඳහා එන්නත් කුඩා දරුවන්ට ලබාදෙන එන්නත් කාණ්ඩයට ඇතුළත්ද?

නැහැ. නමුත් පැපොල රෝගයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය එන්නත් රෝහල්වල තිබෙනවා.

එබැවින් එම එන්නත ලබාගෙන මෙම රෝගයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය දෙයක්.

 

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ