Rukshan Jayasekara



Preweshamen Obe Daruwata Sellam Badu Thoranna ප්‍රවේශමෙන් ඔබේ දරුවාට සෙල්ලම් බඩු තෝරන්න

 

ඔබේ දරුවාට සෙල්ලම් බඩු තේරීමේදී ඔබේ කුඩා කාලය ගැන මතකය අවධි වෙනවාද? ඒ කාලේ නම් අපිට මේ වගේ සෙල්ලම් බඩු වර්ග ගොඩක් තිබුනේ නැහැ කියා ඔබ සිතනවා වන්නට පුළුවන්. නමුත් දැන් තත්වය වෙනස්. දරුවන්ට ඉතාම වටිනා දේ කියාදෙන සෙල්ලම් බඩු වගේම කිසිදු අගයක් නැති සෙල්ලම් බඩුත් වැහි වැහැලා! අපේ වගකීම නිවැරදි දේ දරුවා අතට දීමයි. කියවල බලන්න ඒ ගැන...

 විවිධ වර්ගයේ සෙල්ලම් බඩු පිළිබද ඔබේ දරුවාගේ අවධානය යොමු වී ඒවා ඉල්ලමින් අඬන්න ඔහු හෝ ඇය පුරුදු වී ඇති. ඒ සදහා ඔබට කරදර කරන්නට පුළුවන. එහෙත් දරුවට අවශ්‍ය වන /නොවන සහ ඔබේ ආර්ථිකයට ගැලපෙන සෙල්ලම් බඩු තෝරා දීමට ඔබ බුද්ධිමත් විය යුතු වේ.

 

එය අධ්‍යාපන වටිනාකමකින් යුතුද? හුදු විනෝදය සදහා පමණක්මද?

සෑම දරුවෙක්ම තම සෙල්ලම් බඩු සමග විනෝද වෙමින් වැඩි කාලයක් ගත කිරීමට කැමති වේ.  නමුත් සෙල්ලම් බඩු ඔබේ දරුවාගේ විනෝදය සදහා පමණක් නොවේ. එය නිසි ලෙස භාවිතය දරුවාගේ බුද්ධිමය ශක්තිය වර්ධනය කෙරෙහි බලපායි. බොහෝ දෙමාපියන් අධ්‍යාපන වටිනාකම ගැන නොතකා දරුවා කාර්ය බහුල කල හැකි සිත් ඇද ගන්නා සුළු විවිධ අරුමෝසම් සෙල්ලම් බඩු ලබා දේ. අධ්‍යාපනික වටිනාකම ගැන සලකා බැලීමේදී දරුවාගේ වයස ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

- මාස 6 ක් වනතුරු දරුවා පාට, ශබ්ද සහ අනෙකුත් සංවේදනා වලට සංවේදී වේ. ඔබේ තේරීම වර්ණවත් විය යුතු වන අතරම නාසයේ උගුරේ හිර නොවන ප්‍රමාණයට විශාල විය යුතුය. ඇඟිලි භාවිතා කරමින් අල්ලා ගැනීම, මිරිකීම වැනි කුඩා අභ්‍යාස සදහා යොදා ගත හැකි සෙල්ලම් බඩු විය යුතුය.

- මාස 6 ත් අවුරුද්දත් අතර ඔබේ දරුවාට පෙරට වඩා සංකීර්ණ සෙල්ලම් බඩු ලබා දිය හැකි වේ. මෙම වයස වන විට සෙල්ලම් බඩු අතින් අතට මාරු කිරීම, විවිධ කොටස් ගැන විමසිල්ලෙන් බැලීම වැනි විවිධ ක්‍රියාකාරකම් සදහා දරුවා යොමු වී සිටි.

- අවුරුදු 1 ත් 2 ත් අතර කාලය දරුවාගේ බුද්ධිමය වර්ධනයේ සීග්‍ර දියුණුවක් දැක ගත හැක. දරුවා තම අතට ලැබෙන දෙයක ප්‍රමාණය, වර්ණය, හැඩය සහ පරිමාව පිළිබද අවධානය යොමු කරයි. building blocks වැනි සෙල්ලම් බඩු දරුවාට ලබා දීමෙන් වර්ණ හදුනා ගැනීමටත් එකම හැඩය සහිත ඒවා එකට සවි කිරීම මගින් හැඩ පිළිබදවද දරුවා දැනුවත් වේ. අවුරුදු 2 වන විට සෙල්ලම් ගෙවල්, විවිධ හැඩ සහිත භාජන, බෝනික්කන් මෙන්ම සෙල්ලම් වාහන වැනි දේ කෙරෙහි දරුවා වැඩි අවධානයක් යොමු කරයි. ඒ අතරම විදුලි පේනු සවිකරන හිල් වලට ඇඟිලි ඔබනවාද යන්න ගැනත් සැලකිලිමත් වන්න. 

- අවුරුදු 2 ත් 4 ත් අතර කාලය දරුවා ඉතා ක්‍රියාකාරී වේ. විවිධ සොයා ගැනීම් අත්හදා බැලීම් පිළිබද අවධානය යොමු කරයි. සෑම අනතුරුදායක අවස්ථාවකටම මුහුණ දේ. මෙම කාලය තුල දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු වේ. මෙමෙ අවධිය තුල හැකි තරම් පාට කුරු, පේන්ට් වැනි දේ BUILDING BLOCKS, LEGO  වැනි දරුවාගේ බුද්ධිය වර්ධනය වන ක්‍රියාකාරකම් සමග දරුවා කාර්ය බහුල කරන්න.

 

 දරුවාට නොදිය යුතු සෙල්ලම් බඩු 

ඔබේ දරුවා ඔබේ වටිනාම වස්තුවයි. එම නිසා කිසිදු කුඩා දෙයකට දරුවාට හානි කිරීමට ඉඩ නොතබන්න. සැම විටම අනතුරුදායක කතුරු, පිහි වැනි උපකරණ දරුවාගෙන් ඈත් කොට තබන්න. සමහර සෙල්ලම් බඩු වල ඇති ගැලවී වැටෙන කොටස්, එල්ලෙන කැබලි කුඩා කොටස් උල් සහිත දේවල් දරුවාට හානිකර විය හැක. එවැනි සෙල්ලම් බඩු දරුවාට දීමෙන් වලකින්න. සෙල්ලම්බඩු ආවරණයේ ඇති සියලු විස්තර කියවා බලා දරුවාගේ ආරක්ෂිතබව තහවුරු කොට එය දරුවාට ලබා දෙන්න. දරුවාට ගිලෙන්නට හෝ නාසයේ හිරවීමට ඉඩකඩ අඩු දිගින් යුක්ත ( විෂ්කම්භය සෙන්ටිමීටර් 1.25- 3 අතර සහ දිග 2.25-6 සෙන්ට්මිටර්) සෙල්ලම්බඩු ලබා දීමට වග බලාගන්න. විදුරු බෝල, කාසි සහ ඉතා කුඩා විෂ්කම්ශය සහිත දරුවාගේ උගුරේ සිරවිය හැකි ප්‍රමාණ සහිත බෝල දරුවාට සෙල්ලම් කිරීමට ලබා නොදෙන්න. ඒ වගේම ඉතා වැදගත් ඔවුන්ට වැරදි පණිවුඩයක් දෙන සෙල්ලම් බඩු, උදාහරණයක් ලෙස තුවක්කු, හමුදා සෙල්ලම් කට්ටල ආදිය දෙන්නත් එපා.

 

දරුවාට සුදුසු සෙල්ලම් බඩු

මෙම අවධියේ ඔබ දරුවාගේ මානසික සහ කායික වර්ධනය පිළිබඳ සිතමින් සෙල්ලම් බදු තෝරා ගත යුතුය. දරුවාගේ බුද්ධිය වර්ධනය වන සෙල්ලම් බදු බොහොමයක් තිබේ. වයස අවුරුදු 2 පසු වන විට ඔබට හැකියි ඔවුන්ට ප්‍රහේලිකා (puzzles) වර්ගයේ සෙල්ලම් බදු ලබා දෙන්න. ඒවා නිවැරදි ලෙස ඇහිරීමෙන් දරුවා හැඩතල හඳුනා ගන්න අතර යම් කිසි වස්තූන් දෙකක් හෝ සංකල්ප දෙකක් අතර සම්බන්ධය හඳුනා ගැනීමට පුරුදු වනු ඇත. තවත් ඉතා හොඳ අදහසක් වන්නේ සෙල්ලම් ගෙවල් කට්ටල, දොස්තර සෙල්ලම් කට්ටල, ගොඩනැගිලි කට්ටල ආදී දේ හඳුන්වා දීමයි. මේවා ලබා දීමට පෙර දරුවාට ගිල දැමීමට තරම් කුඩා කොටස් සහ කපා ගැනීමට හේතුවන තියුණු මුවහත් කොටස් නොමැති බවට වග බලා ගන්න. පුංචි සංගීත භාණ්ඩත් බොහෝ විට හොඳ දෙයක්... 

 

කියවීම පුරුදු කරවන්න.

කියවීමට හුරු කිරීම ඔබට දරුවා වෙනුවෙන් කල හැකි ඉතා වටිනාම දෙයකි. කුඩා කල සිට ඔබේ දරුවා පොතට හුරු කිරීම ඔබට ඉදිරියේදී පහසුවක් වේ. වර්තමාන තාක්ෂනය සහ යන්ත්‍රෝපකරණ නිසා දරුවන්ගේ පරිකල්පන ශක්තිය අඩුවී ඇත. ඔවුන්ට සිත තුල යමක් විචිත්‍ර ලෙස මවා ගැනීමට අපහසු බව අද කාලයේ පාසල් දරුවන් දෙස බැලීමේදී පෙනේ. එම නිසා විශාල පින්තුර සහිත සරළ කතන්දර පොත් සමග දරුවා කියවීමට යොමු කරවන්න. ටිකෙන් ටික දරුවාට විස්තර වැඩි කතා කියවන්න උනන්දු කරවන්න. එසේම පොතේ චරිත, කතාව පිළිබද දරුවා සමග කතාබහ කිරීමෙන් ඒ පිළිබද දරුවාගේ උනන්දුව සහ ඉගනීම වැඩි කිරීමට ඔබට හැක. ඔබට ඔවුන්ගේ බුද්ධි ශක්තිය තුල කතාවක් නිර්මාණයට දරුවා උනන්දු කල හැක.

Verified by Dr. (Mrs) Kaushalya Mendis