Rukshan Jayathilaka Advertisement

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

rahas Roga “ඩොක්ටර්ට ගොඩක් පින්! මාස ගණනකට පස්සේ අපේ ජීවිතය ආයෙමත් හොඳ පැත්තට හැරුණා.”
දුරකතනයෙන් අප අමතන ඇය තවත් මසකින් දෙකකින් දරු සුරතල් බලන්නට සූදානමින් සිටින විවාහක කාන්තාවකි. ඇය එලෙස කරුණු දක්වන්නේ කාලයක් තිස්සේ අප විසින් මසකට වරක් ස්වේච්ඡාවෙන් සිදු කරනු ලබන ගර්භණී මවුවරුන් සඳහා වන වැඩසටහනට සහභාගී වීමෙන් දින කිහිපයකට අනතුරු ව ය. සිය විවාහ ජීවිතය වසරකට ආසන්න ව ඇතත් ඇය සතුටින් ගත කොට ඇත්තේ ඉන් පළමු මසක දෙමසක කාලය පමණි. ලිංගික ප්‍රදේශයේ කැසීමක්, ස්‍රාවයක් සමග ඇති වූ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට ඇයට සිදු ව ඇත්තේ මේ කාලයේදී ය.

ප්‍රතිකාර මගින් රෝගය සමනය වුව ද දෙදෙනාගේ විවාහ ජීවිතය තුළට සපැමිණි සැකය අවිශ්වාසය සමනය වී නැත. ගර්භණී මවුවරුන් සඳහා වන වැඩසටහනේ එක් දේශනයකදී අප විසින් කරුණු පැහැදිලි කරන ලද්දේ ලිංගික සම්ප්‍රේෂණය වන රෝග හෙවත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ව ය. එහිදී අප විසින් අවධාරණය කරන ලද කරුණක් වූයේ ලිංගික ප්‍රදේශයේ තුවාල, ස්‍රාව, ගැටිති යන රෝග ලක්ෂණ ඇති වීමට ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග පමණක් නොව, ලිංගිකව සම්ප්‍රේෂණය අවශ්‍ය ම නොවන වෙනත් රෝග ද හේතු සාධක විය හැකි බව ය.


වැඩසටහනේදී වූ අදාළ පැහැදිලි කිරීම ඇය සමග අසා සිටි සැමියාට එහිදී සිය මනසෙහි එතෙක් දැඩි ව රඳවාගත් අනවශ්‍ය සැකය බැහැර කර දමන්නට හැකි විය. විවාහ ජීවිතයේ ප්‍රථම භාගයේදී ම මගහැරුණු සුහද කතාබහ සබඳතා තවත් කාලයකින් අනªතරු ව නැවතත් ඇරඹෙන්නේ මේ සැකය අවිශ්වාසය බැහැර වීමත් සමග ය. අපට පින් දෙන්නට ඇයට සිත් වන්නේ දේශනයට ඇතුළත් වූ පැහැදිලි කිරීම් මගින් එතෙක් පැවැති අනවබෝධය අවිශ්වාසය පහ ව ගිය හෙයිනි.


ලිංගාශ්‍රිත රෝග පිළිබඳ නිවැරදි දැනුවත් බව නැති තැන අනවශ්‍ය ගැටලු පවා ජීවිතයට එක් විය
හැකි බව පැහැදිලි වන්නට මේ සිදුවීම ම ප්‍රමාණවත් ය. වැඩිහිටියන්ට පමණක් නොව යෞවනයට ද තාරුණ්‍යයට ද අදාළ දැනුවත් බව වර්තමානයේදී අත්‍යවශ්‍ය ය. ඒ අනවශ්‍ය සැකයෙන් බියෙන් ද එබඳු රෝගයන්ට ලක් වීමෙ අනතුරින් ද වැළකී සිටීමට ය.


ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන ව ම අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් වැලඳෙන රෝග ය. ඇතැම් ලිංගාශ්‍රිත රෝග මේ ප්‍රධාන ආකාරයට අමතර ව ආසාදිත හෙවත් අදාළ විෂබීජ සහිත රුධිරය ශරීරගත වීමකින් කිසිවකුට වැලඳීමට ද ආසාදිත මවකට ලැබෙන දරුවාට වැලඳීමට ද ඉඩ ඇත.


ලිංගාශ්‍රිත රෝග ගණනාවක් දැනට ලෝකයේ හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් වාර්තා වන්නේ ඉන් රෝග කිහිපයකි. ඒ ලිංගික හර්පීස්, උපදංශය, ගොනෝරියාව, ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය, ට්‍රයිකොමොනයසියාව හා ලිංගික ඉන්නන් එලෙස බහුල ව වාර්තා වන රෝගයි.
නොපමා ව නිසි ප්‍රතිකාර ලැබීමෙන් ඇතැම් ලිංගාශ්‍රිත රෝග නිට්ටාවට සුව කළ හැකි ය. අදාළ රෝග කාරකය බැක්ටීරියා හෝ පරපෝෂිත විශේෂයක් වන රෝග එලෙස සම්පූර්ණයෙන් සුව කළ හැකි රෝග වෙයි. රෝග කාරකය බැක්ටීරියාවන් වන උපදංශය, ගොනෝරියාව, ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය සහ රෝග කාරකය පරපෝෂිත විශේෂයන් වන ට්‍රයිකොමොනයසියාව එවැනි රෝග සඳහා උදාහරණ ය. එහෙත් නිසි ප්‍රතිකාර නොපමාව නොලද විටකදී මේ රෝග මගින් පවා විවිධ සංකූලතා හා ගැටලු ඇති විය හැකි බව සැලකිය යුතු ය. රෝග කාරකය වයිරස වන ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණ ව සුව කරගැනීමේ අපහසුතාවක් ඇතත් අදාළ ප්‍රතිකාර මගින් පාලනය කරගැනීමේ හැකියාව ඇත. ලිංගික හර්පීස් හා ලිංගික ඉන්නන් එවැනි රෝග සඳහා උදාහරණ ය. වැලඳුණු අවස්ථාවකදී මතු වන රෝග ලක්ෂණ මැඩපැවැත්වීම සඳහා සුදුසු ප්‍රතිකාර පවතින මුත් ජීවිත කාලය තුළදී මේ රෝග තත්ත්වයන් නැවත නැවතත් මතු වීමට ඇති ඉඩ එහිදී ඇති එක් ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අද වැඩි වශයෙන් වාර්තා වන්නේ ද වයිරස් නිසා ඇති වන මෙම ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන් වීම ද සියල්ලන්ගේ අවධානයට ලක් විය යුතු කරුණකි.


ලිංගාශ්‍රිත රෝගයන්හිදී ඇති විය හැකි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් තෙයාකාර ය. එනම්; ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රිත ව තුවාල ඇති වීම (ප්‍රාථමික උපදංශය, ලිංගික හර්පීස්), ලිංගේන්ද්‍රියන් අසාමාන්‍ය ස්‍රාව නිකුත් වීම (ගොනෝරියාව, ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය, ට්‍රයිකොමොනයසියාව) හා ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රිතව ගැටිති මතු වීම (ලිංගික ඉන්නන්) වශයෙනි.
ලිංගික හර්පීස්:
‘හර්පීස් සිම්ප්ලෙක්ස්’ වයිරසය මේ රෝගය සඳහා අදාළ රෝග කාරකය ය. බොහෝ විට ආසාදනයෙන් දින කිහිපයකට පසු ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රත ව බිබිලි හට ගැනීමත් බිබිලි කැඩී ගොස් නොගැඹුරු දැඩි වේදනාකාරී තුවාල විශාල සංඛ්‍යාවක් ඇති වීමත් එහිදී සිදු වනු ඇත. බිබිලි හෝ තුවාල මතු වීමට දින කිහිපයකට පෙර උණ හෝ තුවාල හට ගන්නා ස්ථානයන්හි කැසීමත් වේදනාවත් වැනි වෙනසක් ඇති විය හැකි යි.


උපදංශය:
‘ට්‍රිපෝනිමා පැලිඩම්’ බැක්ටීරියාව අදාළ රෝග කාරකය ය. ආසාදනයෙන් තෙමසක පමණ කාලයක අතරතුරදී වේදනා රහිත ගැඹුරු තුවාලයක් ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ඇති විය හැකි ය. එහිදී ඉකිළි පෙදෙසෙහි සිදු වන වසා ගැටිති ඉදිමීම හෙවත් කුද්දෙටි ඇති වීම ද වේදනා රහිත ය.
ප්‍රාථමික උපදංශය ලෙස සැලකෙන මෙම අවස්ථාවේදී නිසි ප්‍රතිකාර ලැබීමෙන් රෝගය ඉදිරි අවස්ථා දක්වා වර්ධනය වීම වළකාගත හැකි ය.
ප්‍රතිකාර නොලද විටෙක තවත් මාස කිහිපයකින් අනතුරු ව ද්විතීයික උපදංශ අවස්ථාවට පත් විය හැකි ය. සමෙහි දද ඇති වීම, සිරුරේ විවිධ ස්ථානයන්හි වසා ගැටිති ඉදිමීම, මුඛයෙහි තුවාල ඇති වීම හෝ උණ එහිදී මතු විය හැකි රෝග ලක්ෂණ යි.
උපදංශ රෝගීන් වැඩි පිරිසක් හඳුනාගැනෙන්නේ ‘පසු උපදංශය’ නම් වන අවස්ථාවේදී ය. පසු උපදංශය යනු කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන අවස්ථාවකි. එවැනි අවස්ථාවන් බොහෝ විට හඳුනාගැනීමට ඉඩ ලැබෙන්නේ වෙනත් කාර්යයන් සඳහා සිදු කෙරෙන රුධිර පරීක්ෂාවකදී ය. එනම්; රජයේ හෝ විදේශ රැකියාවකට යොමුවීමේදී ගර්භණී මවුවරුන් සඳහා වන සායනයකදී ලක් වීමට සිදු වන රුධිර පරීක්ෂාවකදී ය.
මේ කිසිදු අවස්ථාවකදී රෝගය හඳුනාගැනීමට එක් නොවී ප්‍රතිකාර නොලද උපදංශ රෝගීන්ගෙන් සුළු ප්‍රතිශතයක් වසර කිහිපයකට පසු පත් විය හැක්කේ තෘතීයික උපදංශ අවස්ථාවට ය. එහිදී හෘදය රෝග සහ ස්නායුගත ආබාධ හට ගැනීමට ඉඩ ඇත.


ගොනෝරියාව:
‘නයිසීරියා ගොනෝරියේ’ නම් බැක්ටීරියාව අදාළ රෝග කාරකය ය. ආසාදනයෙන් සතියක පමණ කාලයක් ඇතුළතදී ලිංගේන්ද්‍රියෙන් සැරව වැනි ස්‍රාවයන් නොකඩවා නිකුත් වීම ප්‍රධාන රෝග ලක්ෂණය යි. මූත්‍ර දැවිල්ල, නිතර මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව සහ උදරයේ පහළ පෙදෙසේ වේදනාව ද එහිදී ඇති විය හැකි ය.
ගොනෝරියාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ නොදැක්වීමට ඉඩ ඇත. ස්‍රාව සඳහා කැරෙන පරීක්ෂාවන් මගින් එවැනි අවස්ථාවකදී රෝගී ස්වභාවය හඳුනාගත හැකි ය.


ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය:
මෙහිදී සුලභ රෝග කාරකය වන්නේ ‘ක්ලැමීඩයා’ නම් බැක්ටීරියාව යි. ලිංගේන්ද්‍රියෙන් සුදු පැහැ ස්‍රාවයක් නිකුත් වීම මූත්‍ර දැවිල්ල, උදරයේ පහළ පෙදෙසේ හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත ව ඇති වන වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ යි.
ස්‍රාව නිකුත් වීම නොකඩවා නොව විටින් විට සිදු වීමට ඉඩ ඇති අතර ආසාදනයෙන් සති තුනක පමණ කාලයකදී අදාළ රෝග ලක්ෂණ මතු විය හැකි ය.


ට්‍රයිකොමොනයසියාව:
‘ට්‍රයිකොමොනාස් වැජිනේලිස්’ නම් පරපෝෂිත විශේෂය අදාළ රෝග කාරකය යි. ආසාදනයෙන් මසක පමණ කාලයකදී පෙණ සහිත අධික ස්‍රාවයන් ලිංගේන්ද්‍රිය දෙසින් නිකුත් වීම කාන්තා රෝගීන්ගේ දැකිය හැකි ය. කැසීම හා මූත්‍ර දැවිල්ල ඇති විය හැකි අනෙක් රෝග ලක්ෂණ යි. පුරුෂයින්ගේ බොහෝ විට රෝග ලක්ෂණ නොදැක්වෙන අතර, මූත්‍ර දැවිල්ල හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත වේදනාව ඇතැම් විට ඇති විය හැකි ය.


ලිංගික ඉන්නෝ:
‘හියුමන් පැපිලෝමා’ වයිරසය අදාළ රෝග කාරක යි. ආසාදනයෙන් සති හයක් සිට සය මසක් දක්වා වන කාලයකදී ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ගැටිති හට ගැනීම සිදු වනු ඇත. මෙම ගැටිති විවිධ හැඩයෙන් හා විවිධ ප්‍රමාණයෙන් යුක්ත ය. සුදුසු ප්‍රතිකාර මගින් ලිංගික ඉන්නන් ඉවත් කළ හැකි ය. එහෙත් ඇතැම් විට රෝග ලක්ෂණ නැවත මතු වීමේ අවකාශය ද පවතී.
ලිංගික ඉන්නන් වැලඳුණු විටෙක ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම වැඩි හෙයින් එවැනි කාන්තාවන් ‘පැෂ්’ හෙවත් ගැබ් ගෙල පරීක්ෂාවට වසරකට වරක් ලක් වීම අවශ්‍ය ය. එහිදී සෛලයන්හි වෙනස් වීම් මුල් අවස්ථාවේදී ම හඳුනාගැනීමෙන් පිළිකා තක්ත්වයකට වන අවදානම වළකාගැනීමට ඉඩ සැලසෙනු ඇත.


සෙංගමාලය – බී:
මෙය ‘සෙංගමාලය – බී’ වයිරසය නිසා ඇති වන රෝග තත්ත්වය යි. රෝගය හටගැනීම ප්‍රධාන වශයෙන් සිදු වනුයේ ආසාදිතයකුගේ රුධිරය තවෙකකුගේ ශරීරගත වීමෙනි. එහෙත් ‘සෙංගමාලය – බී’ ආසාදනය වී ඇති කෙනකුගෙන් තවත් කෙනකුට ලිංගිකව ද රෝගය සම්ප්‍රේෂණය විය හැකි ය. ‘සෙංගමාලය – බී’ ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග අතරට ද ඇතුළත් වනුයේ එහෙයිනි.
ලිංගික පෙදෙසෙහි ඇති විය හැකි ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්ව:
ලිංගික සම්ප්‍රේෂණයක් අවශ්‍ය නොවන සහ එහෙයින් ම ලිංගාශ්‍රිත රෝග ලෙස නොසැලකෙන විවිධ රෝග තත්ත්ව ලිංගේන්ද්‍රිය හෝ ඒ ආශ්‍රිත පෙදෙසෙහි ඇති විය හැකි ය. පැහැදිලි අවබෝධයක් ඒ පිළිබඳ ව පැවතීම බෙහෙවින් ම වැදගත්ය. ඒ මෙවැනි ඇතැම් රෝග ද ලිංගාශ්‍රිත රෝගයකදී දැකිය හැකි තුවාල ස්‍රාව හෝ ගැටිති ආදි වශයෙන් වන රෝග ලක්ෂණ ඇති කළ හැකි හෙයිනි.
රෝග ලක්ෂණ ලෙස තුවාල ඇති කරන එහෙත් ලිංගාශ්‍රිත රෝග තත්ත්ව ලෙස නොසැලකෙන අවස්ථාවන්ට අසාත්මිකතාවන් ද කැන්ඩිඩයසියාව ද සුලබ උදාහරණ ය.


අසාත්මිකතා:
ඇතැම් පුද්ගලයින්ට ඇතැම් ඖෂධ නොගැළපෙන අවස්ථා ද පවතී. වෙනත් රෝගයක් සඳහා වන ප්‍රතිකාර ලෙස යම් ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව සිරුරේ ඇතැම් ස්ථානයන්හි තුවාල ඇති විය හැක. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව එවැනි තුවාල හට ගැනීමේ අවකාශය ඉහළ ය.


කැන්ඩිඩයසියාව:
‘කැන්ඩිඩා ඇල්බිකන්’ නම් වන දිලීරය අදාළ රෝග කාරකය ය. දිලීරයක පැතිරීම සිදු වනුයේ ඉන් නිකුත් වන බීජාණු මගිනි. දිලීර බීජාණු පරිසරයේ පැවතිය හැකි හෙයින් මෙම රෝග එමගින් කිසිවකුට වැලඳීම සිදු විය හැකි ය. කැසීම, ඉරිතැළීම් හෝ පැළුම් ආකාරයේ තුවාල ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි ඇති වීම එහිදී දැක්වෙන රෝග ලක්ෂණ යි.

රෝග ලක්ෂණ ලෙස අසාමාන්‍ය ස්‍රාව ඇති කරන ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්ව අතර සුලබ ව දැකිය හැකි රෝගයන් වන්නේ කැන්ඩිඩයසියාව සහ බැක්ටීරියල් වැජිනෝසිස් නම් රෝග යි.
කාන්තාවකට කැන්ඩිඩා දිලීර ආසාදනයකදී සුදු පැහැ කැටිති සහිත ස්‍රාවයක් ලිංගේන්ද්‍රියන් නිකුත් වීමත් අධික ව සිදු වන කැසීමත් රෝග ලක්ෂණ ලෙස ඇති විය හැකි ය. මෙය නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගයකි.


බැක්ටීරියල් වැජිනෝසින්:
සිරුරේ නීරෝගී පැවැත්මට ඇතැම් බැක්ටීරියා වර්ග ද අවශ්‍ය ය. ‘ලැක්ටොබැසිලස්’ යනු එවැනි බැක්ටීරියා විශේෂයකි. ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි සාමාන්‍යයෙන් පැවතිය යුතු ලැක්ටොබැසිලස් විශේෂයට අයත් බැක්ටීරියා සංඛ්‍යාවේ අඩු වීමක් නිසා බැක්ටීරියල් වැජිනෝසිස් රෝග තත්ත්වය කාන්තාවකට ඇති විය හැකි ය. කැසීමත් දුර්ගන්ධයත් සහිත ස්‍රාවයත් නිකුත් වීමත් එහිදී දැකිය හැකි රෝග ලක්ෂණ යි. මෙය ද නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගයකි.
රෝග ලක්ෂණ ලෙස ගැටිති ඇති වන ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්ව අතර පීනයිල් පැපිලී සහ ස්වේද ග්‍රන්ථි ආශ්‍රිත ව ඇති වන ගැටිති සුලබ ව දැකිය හැකි උදාහරණයි.


පීනයිල් පැපිලී:
තරුණ වියේ පිරිමින්ගේ ඇතැම් විට දැකිය හැකි මෙම තත්ත්වය රෝගයක් ලෙස සැලකෙන්නේ ද නැත. ලිංගේන්ද්‍රියෙහි ඉදිරි කෙළවර ඉතා කුඩා ගැටිති පෙළක් ඇති වීම එහිදී දැකිය හැකි ලක්ෂණය යි. මෙම අවස්ථාව නම් කළ හැක්කේ අදාළ ප්‍රදේශය අවට ඇති ඇතැම් ග්‍රන්ථීන්ගේ තාවකාලික වර්ධනයක් ලෙසිනි. එය ප්‍රතිකාර අනවශ්‍ය තත්ත්වයකි.


ස්වේද ග්‍රන්ථි ආශ්‍රිත ගැටිති:
සිරුර මතුපිට ඇති සමේ යම් ස්ථානයකදී මෙන් ම ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පෙදෙසෙහි ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ය.
ලිංගික පෙදෙසෙහි මතු වන රෝග ලක්ෂණයක් සඳහා ලිංගාශ්‍රිත රෝගයක් හෝ ලිංගාශ්‍රිත නොවන රෝගයක් හේතු විය හැකි හෙයින් වඩා වැදගත් වනුයේ නොපමාව සුදුසු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ය.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකදී අදාළ රෝගියා පමණක් ප්‍රතිකාර ලැබීම ප්‍රමාණවත් නොවන බව ද සැලකිය යුතු ය. රෝගියා සමග ලිංගික සබඳතා පැවැති අනෙක් පාර්ශ්වයන්ට ද ප්‍රතිකාරය ලැබිය යුත්තේ අදාළ රෝග කාරකය එකිනෙකා අතර හුවමාරු වී පැවතීමට ඇති හැකියාවට අනුව ය. අදාළ අනෙක් පාර්ශ්වයන්ට රෝග ලක්ෂණ ඇතත් නැතත් එලෙස ප්‍රතිකාරයන් අවශ්‍ය වන්නේ එහෙයිනි.
අදාළ රෝග ලක්ෂණ අනුව ලිංගාශ්‍රිත රෝග තත්ත්ව නිවැරදි ව හඳුනාගැනීම පළපුරුදු වෛද්‍යවරයකුට අපහසු නැත. එහෙත් රෝග විනිශ්චය තහවුරු කොටගැනීමේදී එක් එක් රෝග සඳහා කැරෙන විවිධ පරීක්ෂණ ද උපකාරී වනු ඇත. ඇතැම් රෝග තත්ත්වයන්හිදී රුධිර පරීක්ෂණ ද තවත් අවස්ථාවන්හිදී ස්‍රාව සඳහා කැරෙන තැවරුම් පරීක්ෂණ සහ රෝපණ පරීක්ෂණ ද නිවැරදි රෝග විනිශ්චයන් සඳහා අවශ්‍ය ය.
ලිංගාශ්‍රිත රෝග නොවන තත්ත්වයක් මිස ලිංගාශ්‍රිත රෝගයක් හෙවත් සම්ප්‍රේෂණය ලිංගික ව විය යුතු රෝගයක් අවට පරිසරයෙන් ලැබීමේ කිසිදු හැකියාවක් නැත. ලිංගාශ්‍රිත රෝගයන්ගෙන් වැළකීම සඳහා අනුගමනය කළ හැකි සුදුසු ම ක්‍රමවේද වන්නේ ලිංගික සබඳතා පවත්වාගැනීමේදී ඉමහත් වගකීමෙන් කටයුතු කිරීම ය. වගකීම අමතක වන එක් නිමේෂයක් වුව ද කිසිවකු ලිංගාශ්‍රිත රෝග අනතුරකට ලක් කරන්නට හොඳට ම ප්‍රමාණවත් ය.