Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ
Hot Kello

Riya Padaweema Ha Manoo Widyawa රිය පැදවීම යා මනෝ විද්‍යාව

 

ඔබ වාහන රියැදුරෙක්ද? ඔබේම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවාද? නැතිනම් මෝටර් බයිසිකලයක් පදිනවාද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන/ මෝටර් බයිසිකල් වල යන බැවින් ඔබටද මෙය අදාළයි.

සමහර රියැදුරන් බියජනක රියැදුරන්ය. සමහරුන් අපරිස්සම් අයය. තවත් සමහරු දුෂ්ට වෙති. සමහර අයට මෙම ගති කිහිපයක්ම එකට පිහිටා ඇත. මේ අය නිසා එම රියැදුරාත්, එම වාහනයේ යන අයත්, අනෙක් වාහන වල අයත්, පදිකයිනුත් අමාරුවේ වැටෙති; මානසික පීඩනයකට ලක් වෙති; මරණ පවා සිදු වෙයි. මීට හේතු – අධික වේගය, අන් අය ගැන නොසැළකීම. බීමත්කම, අබලන් වාහන, මාර්ග නීති නොදත්කම හෝ නොතැකීම වැනි හේතු – රැසකි.

මේ ලිපිය වෙන් වන්නේ මේ හේතු රැසට අමතරව කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කතා නොකරන එක් වෙසෙස් හේතුවක් විමසා බැලීමටයි. එනම් ඔබව වදකාර රියැදුරෙකු බවට පත් කරවන වාහන ගලනය නොපිටට දැකීම නම් තත්වයයි. මෙය රියැදුරාගේ මනස තුළ සිදුවන ක්‍රියාදාමයකි.

මෙය විස්තර කිරීමට කලින් මහ මගේ දිවෙන වාහන දෙකක් අතර හිදැස මණින හැටි ඉගෙන ගනිමු. කවුරුත් දන්නා ක්‍රමය නම් මේ සඳහා දුර පාවිච්චි කිරීමයි. එනම් පාරේ දිවෙන වාහන දෙකක් අතර මීටර දහයක් දුරක් ඇත;  ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ මීටර දහයක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න – යනාදි ලෙසින් මෙය පාවිච්චි කෙරෙයි.

වාහන අතර හිදැස මිණීමේ අනෙක් වඩා විද්‍යාත්මක ක්‍රමය නම් කාලය පාවිච්චි කිරීමයි. එනම් ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ තත්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න යැයි කියනා විට අදහස් කරන දෙයයි.

ඔබ ඉදිරියෙන් ඇති වාහනයට තත්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්නේ කෙසේද? මෙය කළ හැකි සරළ ක්‍රමයක් ඇත. ඔබ ඉදිරියෙන් ඇති වාහනය ලාම්පු කණුවක් හෝ ගසක් හෝ වැනි නොසෙල්වෙන මග සළකුණක් පසු කරන විටම බිංදුවයි යැයි සිතින් කියන්න. ඉන් පසු තත්පර වේගයෙන් එක දෙක කියන්න. තුන කියන විට ඔබේ වාහනය එම සළකුණ පසු කළේ නම් ඉදිරි වාහනය හා ඔබ අතර හිදැස තත්පර තුනකි. අනතුරු වළකා ගැනීම සඳහා මෙය අවම වශයෙන් තත්පර දෙකක් වත් විය යුතුයැයි සොයාගෙන ඇත.

 

වාහන ගලනය හරිපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ දික් තීරු ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

මහ මග දිග පටියකි. එහි මම දික් අතට ඉදිරියට යමි. අන් අයද ඉදිරියට යති. මට පෙර හා පසු පස අය ඇත. මේ අය මට තත්පර ගණනක් ළංව ගමන් කරනවා විය හැක. නැතිනම් මට නොපෙනෙන මානයක විනාඩි ගණනක ඈතින් සිටිනවා විය හැක. කෙසේ වෙතත් මට පෙර යන වාහනය හා ඊට පෙර ඇති වාහන කිහිපයත් මට පසු එන වාහනය හා ඊට පසු වාහන කිහිපයත් ගමන් කරන්නේ එක තීරුවකය. එක් දිගටය. හරියට රේල් පාරක රේල් පෙට්ට් දිවෙන හැටියටය. මෙයට තනි තීරුවේ වාහන ගලනය යැයි කියමි.

මාර්ගයේ මා යන පැත්ත වාහන දෙකකට ගමන් කිරීමට තරම් පළල නම් මට එය පෙනෙන්නේ තීරු දෙකකට වාහන ගමන් කළ හැකි මගක් ලෙසයි. එවිට වාහන ගලනය තීරු දෙකකට සිදුවෙතැයි කියමි. සමහර විට තීරු තුනේ හෝ ඊට වැඩි ගණනේ ගලන ඇති අවස්ථා ඉතා පුළුල් මාර්ග වල තිබිය හැක.

සමහර දියණු කළ මාර්ගවල මං තීරු සුදු ඉරෙන් ලකුණු කොට ඇත. එවිට මා අයිති වාහන ගලන මං තීරුව හඳුනා ගැනීම මටත් අන් අයටත් පහසුයි. එසේ නැති විට එය අපහසු වුවත් මම එවැනි මං තීරු සිතින් මවා ගෙන මගේ රිය පදවමි.

මා නිතර බලන්නේ මා අයිති මං තීරුවේ වාහන ගලනය කෙසේද කියායි. එය වේගවත් මදි නම් තව ටික වේලාවක් එය වෙනස් වේදැයි බලා මම වඩා වේගවත් ලෙස වාහන ගලනය සිදුවෙන මං තීරුවකට පරිස්සමින් මාරු වෙමි. වාහන ගොඩගැසුණු කාර්යාලීය වේලාවට නම් මං තීරු මාරු කිරීම එතරම් පලක් නැති බව මම දනිමි.

කෙටියෙන් කීවොත් මා වැඩි පුරම අවධානයෙන් සිටින්නේ මා ඉදිරියෙන් මගේ මං තීරුවේ යන වාහනය හා පසුපසින් එන වාහනය හා ඒවායේ වේගයන් ගැනයි. මගේ මං තීරුවේ සමස්ත වාහන ගලන වේගය හා එහි සුමුදු බව ගැන මම අවධානයෙන් සිටිමි.

 

වාහන ගලනය කනපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ හරස් පටි ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

මහ මග හිස් ඉඩමකි. මෙහි මේ කෙළවරෙන් ඇතුළ් වුණු මා කෙසේ හෝ අන් කෙළවරෙන් පිට විය යුතුය. ඒ සඳහා මා කළ යුත්තේ මා ඉදිරියේ ඇති බාදක මැඩ ගෙන කෙසේ හෝ කොයි තරමින් හෝ ඉදිරියට යාමයි. මා අවට ඇති බාදක නම් අනෙකුත් වාහන/ බයිසිකල්/ පදියකයන්, සහ මාර්ගයේ ඇති වෙනත් සියළුම දෑය. වෙනත් සියළුම දෑ වලට මාර්ගය මත ඇඳ ඇති සියළු ආකාරයේ ඉරි/ කොටු/ ඊතළ වැනි දෑ, මාර්ගය මැද හෝ දෙපස ඇති සියළුම ආකාරයේ ඉදිකිරීම් (අයිලන්ඩ්, පදික වේදිකා, වර්ණ සංඥා කණු, මං සළකුණු ආදිය) පමණක් නොව වාහන පාලනයට සිටින පොලිස් නිළධාරින්ද ඇතුළත් වෙයි.

මේ සියල්ල මාගේ ගමනට ඇති බාදාය; උදවු නොවේය. මට ඉක්මණින් යා හැකි ක්‍රමය නම් කෙසේ හෝ මෙම බාදක අස්සෙන් දමා යාමයි. මං තීරු දෙකක ඇති වාහන පේළි දෙක අතර ඇති ඉඩක් අහක බලන පොලිස් නිළධාරියෙකු, රතු වැටෙන්න ඔන්න මෙන්න (හෝ මේ දැන් රතු වැටුණු) වර්ණ සංඥාවක්, මා ඉදිරියෙන් ඇති වාහනය හා මා අතර ඇති වන අඟල් හයක් හිදැසක් වැනි මේ සියල්ල කෙසේ හෝ තව ටිකක් මගේ ඉලක්කය වෙත යාමට/ බාදක පැරදවීමට ඇති මං ය. මේවා පැහැර හැරීම මෝඩ කමක් මිස වෙන කුමක්ද?

මං තීරු එකකට වැඩි මාවත් වලදී මට දකුණු පසින් හෝ වම් පසින් යන වාහනය මා පසු කොට යන්නේ නම් මා පැරදෙන බවක් මට දැනෙයි. එසේම මා යන්නේ මෝඩ රියදුරරෙකු පිටු පසින් විය යුතුය. එනම් මා වාහන ගලනය දකින ලෙස නොව වෙනත් ලෙසක එය දකින එසේම හෙමින් යන අදක්‍ෂ රියැදුරෙකු පසු පසය. බොහෝ විට ඒ කාන්තාවක් විය හැක. නැතිනම් වයසක පප්පෙකි. එසේ නම් මා වහාම ඉදිරි වාහනය කෙසේ හෝ පසු කර යා යුතුය. ඒ සඳහා මා දකුණට හෝ වමට වෙට්ටුවක් දමා යා යුතුය.

පාර දිගේ ඉරි ඇඳ ඇත්තේ බට්ටා පැනීමටදැයි මට සිතෙයි. හැකි තරම් පාරවල් පළලට තැනීම හැර වෙනත් කළ හැකි මාර්ග සංවර්ධනය කුමක්ද? පදික වේදිකා වැනි දෑ බඩ ගින්නට කෑමට ගත හැකිද? අඩු ගනනේ පුළුවන් තැනදී වත් පාර පළල් කළ යුතුයි. එවිට ඒ තැන් වලදී මා වැනි දක්‍ෂ රියැදුරන්ට අන් අයව ඉස්සර කොට ඉක්මණින් ගමනාන්තය කෙරෙහි යා හැක.

මෙසේ ඉක්මණින් යමාට ඉතාම වැදගත් මාගේ වාහනයේ වේගයයි. එය කෙතරම් සරළ සත්‍යයක්ද යත් එය සමහර අමනයින්ට වැටහෙන්නේ නැත්තේ ඇයි දැයි මට සිතෙයි. එම නිස මා ඉදිරියේ මීටර පණහක ඉඩක් පෑදී ඇතිනම්, එම මීටර පණහ අවසන තවත් වාහන පෙළක් ඇතත්, ඕනෑම මොළය ඇති රියැදුරෙකු කළ යුත්තේ හැකි උපරිම වේගයෙන් එම මීටර පණහ වාහනය පැදවීමයි. මෙහිදී වැර යොදා ඇකසලේටරය පාගන විට වාහනයේ යන අන් අය එකවර පසු පසට විසි වී යන අපූරු දසුන මට රියැදුරෙකු ලෙස සියමු ආඩම්බරයක් ගෙන දෙයි. එසේම මිටර පණහ අවසන මා එකවර ගසන බ්‍රේක් පහරට හීන් හඬක් සහිතව එකවර වාහනය නතර වන හැටි සහ එවිට ඇතුළේ සිටින මගියන්ගේ කඳ ඉදිරියට විසී වී නැවෙන හැටි (වාහන පටි නොපැළඳි අය විසි වී යන හැටි) මට සියුම් සැනසුමක් ගෙන දෙයි.

මෙසේ වාහනය තුළ යන අනෙක් මගියන්ව ගස්සමින් රිය පැදවීම මගේ දස්කමේ ලකුණකි. එපමණක් නොව මට ඔවුන්ව පාලනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සමහර ළාමක අය මා වාහන අතට ගන්නා විට හොඳටම බිය වෙයි. සමහර අය මා පසසයි.

ළාමක මෝඩ රියැදුරෝ, වෙසෙසින්ම ගැහැණු අය, පෙරහැරක් මෙන් එකා පසු පස එකා ගමන් කිරීමට මහත් රුචියක් දක්වති. වාහන අධික වෙලාවට යම් තැනක හිර වුණ විටි කට්ටිය පෝළිමට නවත්වාගෙන ලෝකයම නතරවුණාක් මෙන් සිටිති. මා වැනි දක්ස රියැදුරෝ එසේ නතර නොවෙති. තත්පරයකට හෝ නතර වීම අපේ ගමනාන්තයට යාම තත්පරයකින් හෝ ප්‍රමාද කරන බව මේ මෝඩ පෙරහැර රියැදුරන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

මා ඉදිරියේ වාහනය නතර වුණොත් මා කරන්නේ කෙසේ හෝ ඉදිරියට යාමට මගක් සොයා ගැනීමයි. සමහර තැන්වල පදික වේදිකාවෙන් හෝ දමා ඉදිරියට යාමට හැකි වන මහඟු අවස්ථා පෑදෙයි. එම තැන් අප වැනි දක්ස රියැදුරන් එන තෙක් ආරාධනාවෙන් බලා සිටිනවා වැනිය. එම අවස්ථා මග හරින මෝඩයන් ගැන කතා කිරීමත් කාලය නාස්තියකි.

මෙසේ කොහින් හෝ දමා ඉක්මණින් යන, ඉදිරියෙන් යන වාහනය හා මා අතර ඉඩක් තබා නොගනිමින් මාර්ගයෙන් උපමරිම ප්‍රයෝජන ගන්නා අප වැනි රියැදුරන් නොවන්නට වාහන තද බදයන් මීටත් වඩා දරුණු වනු ඇත. මරදානේ වාහන පෝලිම එවිට මීගමුව දක්වා දික් වනු ඇත.

 

මා තෝරා ගත යුත්තේ කුමන ක්‍රමයද?

විද්‍යාත්මක අධ්‍යයනයන් වලදී පැහැදිලිව පෙනෙන කරුණ නම් වාහන ගලනය හරි පිට දකින රියදුරා අනතුරු අඩු සාමකාමී රියදුරෙකු බවයි. එක් ගමනක් අවසන් කිරිමට ඔහුට හෝ ඇයට විනාඩි විස්සක් ගත වෙයි නම් වාහන ගලනය නොපිට දකින රියදුරාට එම ගමන විනාඩි දහ අටකින් පමණ අවසන් කළ හැක. නමුත් සමහර විට එයද නොහැකි වී යයි.

එපමණක් නොව වාහන ගලනය නොපිට දකින රියදුරා සාමාන්‍යයෙන් ආතතිය කාංසාව වැඩි ක්ලමථය බෙහෙවින් පිරුණු පුද්ගලයෝය. ඔවුන්ගේ අවට සිටින අයද මේ අයගේ මෙම පුද්ගල සොබාවය හා වාහන පදවන විදය නිසා පීඩාවට පත් වෙති. මේ අය සාමාන්‍යයෙන් සෘජු බව අඩු ප්‍රචණ්ඩ බව වැනි වෙනත් අසෞඛ්‍යමත් ලෙස අන් අය සමග ගනුදෙනු කරන අයයි. එසේම මේ අය අන් අය නොයෙක් හේතු (උදා: කාන්තාවක් වීම, ගමකින් පැමිණීම වැනි) මත පහත් කොට සළකන අයයි.

වාහන ගලනය හරිපිට දකින රියදුරා තවමත් අප රටේ සුළුතරයයි. නමුත් දැන් දැන් එම පිරිස වැඩි වේගෙන එන බවක් දැනෙයි. මෙම රියදුරා සෘජු බවින් පිරුණු සාමකාමී සතුට සහිත කෙනෙකි. ඔහු හෝ ඇය අන් අය පහත් කොට නොසළකති. රටේ දියුණවට කැමති වෙති. අන් අය සමග වඩා හපන් ලෙස ගනු දෙනු කරති.

මෙම දෙවන ක්‍රමයට මාරු වීම මදක් ආයාසයෙන් කළ යුතු දෙයකි. නමුත් එය මනසේ අවුල් බව, ආතතිය අඩු කර ගැනීමේ එක් විදියක් බව මතක තබා ගන්න.

වෛද්‍ය මහේෂ් රාජසූරිය