Advertisement
Hot Kello

Sem Gedi සෙම් ගෙඩි

 

උගුර, අපට ඉතා ප්‍රයෝජනවත් අවයවයකි. කතා කිරීමට උපකාර වීම, ආහාර ගිලීමට උපකාරීවීම එම ප්‍රයෝජන අතරින් කීපයකි. හේතු රැසක්ම නිසා උගුර ආබාධයට ලක්වෙයි. කටහඬ වෙනස්වීම (උගුර බැරැන්ඩිවීම) උගුරේ යමක් සිරවී ඇති බව දැනීම, උගුර ආසාදනය වී සෙම් ගෙඩි ඇතිවීම. ක්ෂණිකව ඇතිවන කටහඬ පිට නොවීම, උගුරේ යමක් සිරවීම උගුර ආශි‍්‍රතව ඇතිවන ආබාධ කීපයකි.

අප ආශ්වාස කරන විට උගුරේ තිබෙන ස්වර තන්තු දුරස්වී පෙනහලු වෙත වාතය ගලා ඒමට ඉඩහරී. ප්‍රශ්වාස වාතය ස්වර තන්තු අතරින් ගලා එන විට ස්වර තන්තු එකිනෙකට ඈත්වීම සිදුවේ. ශබ්දය හට ගන්නේ ස්වර තන්තු කම්පනය වීම නිසාය. දිව, තොල්, ග්‍රසනිකාව යන අවයව මගින් එම ශබ්දයේ ගුණාත්මක භාවය වැඩිකර “කටහඬ” බවට පත් කරනු ලැබේ. අප කතා කරන විට ‘කටහඬ’ ඇති වන්නේ එලෙසය.

එක් එක් පුද්ගලයාට උරුම වූ කටහඬක් පිහිටයි. ඒ කටහඬ විවිධ හේතු නිසා වෙනස් විය හැකිය. උගුරේ ඇතිවන ආසාදන, විවිධ හේතු නිසා වෙනස් විය හැකිය. උගුරේ ඇතිවන ආසාදන, ගෙඩි, පිළිකා, ස්වර තන්තු අකර්මණ්‍ය වීම, උස් හඬින් වැඩි වේලාවක් කතා කිරීම එම හේතූන් අතරින් කීපයකි. උගුර බැරැන්ඩි වීම ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් හේතු අතරින් කුමන හෝ හේතුවක් නිසා සිදුවන කටහඬේ වෙනස්වීමය. උගුර බැරැන්ඩි වී එක දිගට සති දෙකකට වැඩි කාලයක් පැවතුණහොත් උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යා යුතුය.

බොහෝ දෙනෙකුට උගුර ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධයක් වන්නේ් “සෙම්ගෙඩි” ය. බොහෝවිට මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කුඩා දරුවෝය. සෙම් ගෙඩි ලෙස හැඳින්වුවද මෙහි සෙම හෝ ගෙඩියක් හෝ නැත. අපගේ උගුරේ වසා පද්ධතියට අයත් ගැටිත්තක් සෙම්ගෙඩි ලෙස හඳුන්වනු ලැබේ. උගුර හරහා සිරුරට ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට උදව් වන්නේ මේ වසා ගැටිත්තය. එය, කිසියම් රටකට පහරදීමට පැමිණෙන සතුරු හමුදාවනට පහර දීමට සූදානමින් සිටින හමුදා සේනාංකයක් වැනිය.

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ සෙම් ගෙඩි විශාලව පිහිටයි. වියපත්වන විට එම සෙම්ගෙඩි ක්‍රමයෙන් කුඩා වේ. සෙම්ගෙඩි ඉදිමීම ලෙස අප හඳුන්වන මේ රෝග තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ “ස්ට්‍රෙප්ටොකොකස්” නම් බැක්ටීරියාවය.

සෙම්ගෙඩි ඉදිමීමේ රෝග ලක්‍ෂණ ලෙස ගිලීමේ අපහසුව, කටහඬ වෙනස් වීම, ඇඟපත වේදනාව උණ ඇතිවිය හැකිය. ප්‍රතිකාර ලෙස මෙහිදී වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදේ. සෙම්ගෙඩි ඉදිමුණ විට උණුවතුර පානය කළ යුතු අතර විෂබීජ නාශකය මඟින් උගුර සේදීම වඩාත් සුදුසුය. මෙහිදී උගුර සේදීම සඳහා ලුණුවතුර ඉතා යෝග්‍ය වේ. එසේම මෙහිදී උණු ජලයට ලුණු ස්වල්පයක් පමණක් යොදා ගැනීම සුදුසුය.

සෙම්ගෙඩි සරල දෙයක් ලෙස පෙනුණද එය කිසිසේ්ත්ම සරලව සිතිය නොහැකිය. ඒ සෙම් ගෙඩි ප්‍රදාහය ඇති කරන බැක්ටීරියාවට වකුගඩු ප්‍රදාහය, රූමැටික උණ වැනි බරපතළ රෝග ඇති කිරීමේ හැකියාව ඇති නිසාය. රූමැටික උණ මගින් සන්ධි ඉදිමීම සිදුවිය හැකි අතර හෘදයේ කපාට රෝගී වී හෘදය ආශි‍්‍රත ආබාධ ඇතිවීමටත් හේතු විය හැකිය. එසේම සෙම් ගෙඩි ආසාදනය උගුරේ සහ ඒ අවට ඇති පටකවලට පැතිර ගොස් සැරව ගෙඩි පවා ඇතිවිය හැකිය.

මේ නිසා සෙම්ගෙඩි ඉදිමීම පිළිබඳව සුළුවෙන් සිතිය යුතු නොවේ. පාසල් දරුවකුගේ සෙම්ගෙඩි නිතර නිතර ආසාදනයට ලක්වේ නම් එය එම දරුවාගේ අධ්‍යාපනික කටයුතුවලට බාධාවකි. වැඩිහිටියකු මෙම තත්ත්වයට නිතර මුහුණ දෙයි නම් එය ඔහුගේ රැකියාවට මෙන්ම එදිනෙදා වැඩ කටයුතු වලට ද බාධාවකි. එසේ නම් සෙම්ගෙඩි ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදුවේ.

ඔබේ උගුර නිතර නිතර ආසාදනය වෙයි නම්, ගිලීමට අපහසුවේ නම් එය සෙම්ගෙඩි ආසාදනයක්මදැයි ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී නිසැකවම දැනගන්න. වසරකට පස්හය වතාවකට වඩා පිට පිට වසර දෙකක් සෙම්ගෙඩි ආසාදනය වන්නේ නම්, උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යා යුතුය.

සෙම්ගෙඩි හෙවත් උගුරේ තිබෙන මේ වසා ගැටිති ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ඉතා සුළු ශල්‍ය කර්මයකි. එම ශල්‍යකර්මයේදී පිටතින් කැපුමක් සිදු නොකොට උගුර ඇතුළෙන්ම සෙම්ගෙඩි ඉවත් කෙරේ. මෙම ශල්‍යකර්මය සුළු එකක් වුවද රුධිරය වහනය වීමේ අවදානමක් ඇති නිසා රෝහලේ පැය 24 ක් සිටිය යුතුය. ශල්‍යකර්මයෙන් පසුව උගුරේ වේදනාව ඇති වුවද නිතර නිතර ආහාර ගත යුතුය. ශල්‍යකර්මයේදී සිදුවන උගුරේ තුවාලය සුවවීමට සතියක් පමණ කල්ගත වන නිසා සෙනඟ ගැවසෙන ස්ථානවලට නොගොස් නිවසේ රැඳී සිටීම අත්‍යවශ්‍යවේ.

උගුරේ යමක් සිර නොවී එහෙත් කිසියම් දෙයක් සිරවී ඇති බව දැනීම බොහෝ දෙනෙකුට ඇතිවන උගුරේ ආබාධ තත්ත්වයකි. මෙහිදී බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ උගුරේ පිළිකාවක් ඇති බවය. උගුර ආශි‍්‍රතව පිළිකාවක් හෝ වෙනත් ගෙඩියක් ඇති විට උගුරේ යමක් සිරවී ඇති බව දැනෙනවා සේම තවත් හේතු ගණනාවක් නිසාත් උගුරේ යමක් සිරවී ඇති ආකාරයෙන් දැනෙයි.

ගැස්ට්‍රයිටිස් රෝගය ඉන් එකකි. එය සිදුවන්නේ ආමාශයේ අම්ල ස්වභාවය අධික වී ගලනාලය දෙසට ආපසු අම්ලය ගමන් කිරීම නිසාය. ගැස්ට්‍රයිටිස් රෝගය නිසා උගුරේ ඇතිවන ඉහත රෝග තත්ත්වයෙන් මිදීම සඳහා කලක් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.

කුසගින්නෙන් සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමෙන් ද ගැස්ට්‍රයිටිස් රෝගය වැළකී සිටිය යුතුය. ගැස්ට්‍රයිටිස් රෝගීන් තම උදෑසන ආහාර වේල උදෑසන 7 ට පෙර ගත යුතු අතර දහවල් 1 ට පෙර දිවා ආහාරය ද රාත්‍රී 8 ට පෙර රාත්‍රී ආහාරය ද ගත යුතුය. එවැනි රෝගීන් නින්දට යනවිට රාත්‍රී ආහාර වේල මඳක් ජීර්ණය වී තිබේ නම් වඩාත් යෝග්‍ය වේ.

ගැස්ට්‍රයිටිස් රෝගීන් ආහාර ගැනීමෙන් පසුව අධික ලෙස ජලය පානය කිරීම අගුණය. ඔවුහු ආහාර ගැනීමෙන් පසුව ජලය ස්වල්පයක් පානය කිරීමට පුරුදු විය යුතුය. එසේම ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරතුර හැකි පමණ දියර වර්ග පානය කළ යුතුය.
බෙලි, ආනමාලු කෙසෙල්, අලිගැටපේර වැනි ආම්ලික ස්වභාවය අඩු පලතුරු ආහාරයට ගැනීමට පුරුදුවීම වැදගත්ය. නින්දේදී ශරීරයට වඩා හිස ඉහළ මට්ටමකින් පවතින සේ තබා ගැනීමෙන් අම්ල ගලනාලය දෙසට ඒම වළකී.

කටු, කාසි, බොත්තම්, කුඩාබැටරි කෑලි ආදිය කුඩා දරුවන් සිර කර ගනු දැකිය හැකිය. උගුරේ කටුවක් සිරවීම අවදානම් සහගත තත්ත්වයකි. එය මාළු කටුවක් හෝ ලෝහමය කටුවක් හෝ විය හැකිය. උගුරේ කටුවක් සිරවූ විට උගුරට ඇඟිලි දැමීම කිසිසේත්ම සුදුසු නොවේ. වමනය කිරීමක් සුදුසු නොවේ. කටුව සිරවූ බව දැනුණු මොහොතේ සිට කිසිවක් ආහාරයට නොගත යුතුය. වඩාත් සුදුසු වන්නේ හැකි ඉක්මනින් උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යාමය. වෛද්‍යවරයා නිවැරැදි උපකරණ භාවිතා කරමින් කටුව ගැනීමට යොමුවනු ඇති.

උගුරේ කටුවක් සිරවිය හැකි ස්ථාන කීපයක්ම වේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ සෙම්ගෙඩිය. සෙම්ගෙඩි හෙවත් උගුරේ ඇති වසා ගැටිති උගුරට නෙරා ඇතිසේ පිහිටන නිසා ඒවායේ කටුවක් ඇනීමේ හැකියාව වැඩිය. එසේම දිව පිටුපස කෙළවර කොටසේද කටුවක් ඇනිය හැකිය. කටුවක් ඇනී තිබිය හැකි තවත් ස්ථානයක් වන්නේ ග්‍රසනිකාව හෝ ගලනාලයේ ඉහළ කොටසය.

සමහරවිට කටුව සිරවී නැතත්, කටුව ඇනුණු තුවාල නිසා දැනෙන වේදනාව රෝගියා බියට පත් කිරීමට සමත්ය. රෝගියා සිතන්නේ තවමත් කටුව උගුරේ ඇනී ඇතැයි කියාය. වෛද්‍යවරයා විසින් රෝගියාව පරීක්‍ෂා කළ පසුව කටුව පිටතට පෙනෙන්නට ඇත්නම්, එය සියුම් අඩුවකින් ඉවත් කරනු ඇති. ඇසට නොපෙනෙන මායිමේ ඇති කටු ඔකිරණ පරීක්‍ෂාවකින් දැකගත හැකිය. කටුවක් සිරවී තිබියදීත් ඒ පිළිබඳව නොසලකා සිටීමෙන් උගුරේ සැරව ගෙඩියක් ඇතිවීමේ ඉඩකඩ ඇත. එය තරමක භයානක තත්ත්වයක් විය හැකිය. වෛද්‍යවරයා මෙහිදී ප්‍රතිජීවක ඖෂධ නියම කරනු ඇති.

උගුරේ කටුවක් ඇනුණු පසුව කටුව උගුරේ සිරවී එය පිළිකාවක් බවට පත්වේ යැයි ඇතැම්හු බියක් දක්වති. එය වැරදි සහගත හැඟීමකි. එසේ පිළිකා බියක් ඇති කර ගත යුතු නොවේ. උගුරේ ඇනුණු කටුවක් කාලයක් රැඳෙන්නේ නැත. එය විගසින් ඉවත් නොකළහොත් එතැන සැරව ගෙඩියක් ඇතිවේ. එම සැරව ගෙඩිය පිපිරෙන විට කටුව ඉවත්වේ. දරුවකු කාසියක්, බොත්තමක් හෝ බැටරි කැබැල්ලක් වැනි යමක් උගුරේ සිරකරගතහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුය. අත්ඔරලෝසු වැනි උපකරණවලට යොදන කුඩා බැටරියක් දරුවකු ගිල දැමුවහොත් වහාම දරුවා රෝහලක් වෙත රැගෙන යා යුතුය. බැටරිය තුළ ඇති මැංගනීස්, රසදිය වැනි රසායනික ද්‍රව්‍ය දරුවාගේ් ජීවිතයට තර්ජනයක් ගෙන දිය හැකිය.

උගුර ආශි‍්‍රතව ඇතිවන වඩාත් සැලකිලිමත් විය යුතු රෝගාබාධයක් ලෙස ගෙඩි සහ පිළිකා දැක්විය හැකිය.

උගුරේ ගෙඩියක් හෝ පිළිකාවක් ඇති වී ස්වරාලය අවහිර වීම නිසා බොහෝවිට හුස්ම ගැනීම අපහසු වී උගුරෙන් කිසියම් ශබ්දයක් පිටවනු නිරීක්‍ෂණය කළ හැකිය. කටහඬ වෙනස්වීම වැනි ලක්‍ෂණ ද මෙහිදී පෙන්නුම් කෙරේ. උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකුට මෙම තත්ත්වය පහසුවෙන් හඳුනාගත හැකිය. උගුරේ පිළිකාවක්ඇත්නම් රෝග ලක්‍ෂණ කීපයක් මතුවේ.

කෙටිකලකදී ශරීරයේ බර අඩුවීම, (කලින් ඇඟට තදව තිබූ ඇඳුම් බුරුල් වී ඇති බව දැනීම.) ආහාර වේලක් ගැනීමට ඉතා දිගු වේලාවක් ගත වීම. (ආහාර ගන්නා අතරතුර කීප වරක් ජලය පානය කිරීමට සිදුවීම.) ආහාර පිට උගුරේ යාම නිසා කැස්ස ඇතිවීම, කලක් ගතවන විට ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවීම ආදිය එම රෝග ලක්‍ෂණ අතර වේ.

ඔබටත් කිසියම් උගුරේ අපහසුතාවක් ඇත්නම්, ඒ ගැන තැවෙමින් මානසිකව රෝගී වනවාට වඩා වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය. යම් හෙයකින් උගුරේ ඇති වී තිබෙන ගැටිත්ත පිළිකාවක් නම්, එය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමෙන් පහසුවෙන් සුවපත් කළ හැකිය. ඒ සඳහා විකිරණ ප්‍රතිකාර භාවිතා කෙරේ. විකිරණ ප්‍රතිකාර ප්‍රමාණවත් නොවූ විට ශල්‍යකර්මයක් මඟින් උගුරේ කොටසක් ඉවත් කිරීමට සිදුවේ. මෙම ශල්‍යකර්මයෙන් පසුව කතා කිරීමේ අපහසුතා ඇති වුවද නවීන විද්‍යානුකූල ක්‍රම උපයෝගී කරගනිමින් කතා කිරීමේ හැකියාව නැවත ලබාගත හැකිය.

කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය ආශි‍්‍රත
රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය