Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ
Hot Kello

ලොව සිදුවන විවිධ සිදුවීම් අතරින් අතිශය දුර්ලභ වූ යමක් වේ නම් තථාගතයන් වහන්සේගේ ලොව පහළ වීම ඒ අතරින් දුර්ලභ ම කරුණක් වේ. සසර ස්වභාවය සහ එහි දීර්ඝත්වය පිළිබඳ විමසීමේ දී මේ බව මනාව ප්‍රකට වේ. ධර්මය පිළිබඳ ගවේෂණය කරන සියලු දෙනා විසින් තම ශාස්තෘෘන් වහන්සේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවක් වශයෙන් පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ අනුත්තරීය සූත්‍රයෙහි සිහිපත් කිරීම් අතරින් ශ්‍රේෂ්ඨතම සිහිපත් කිරීම බුදුරදුන් පිළිබඳ සිහිපත් කිරීම වශයෙන් පෙන්වා දී ඇත. එසේ ම අනුස්සති භාවනා අතරින් ප්‍රථමව පෙන්වා දෙනුයේ ද බුද්ධානුස්තිය යි. සතර කමටහන් වශයෙන් දක්වන තැන්හි ප්‍රථම ව දක්වා ඇත්තේ බුද්ධානුස්සතිය යි. බුද්ධානුස්තිය සිදු කිරීම සඳහා බුදුරදුන් පිළිබඳ ගුණ වශයෙන් අවබෝධයක් පැවතිය යුතු ය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ කරුණු තම නුවණින් දැන ගන්නා කල්හි ශ්‍රද්ධාව වර්ධනය වේ. එසේ ම බුද්ධානුස්ති භාවනාව සියලු කර්මස්ථානයන් සඳහා පූර්වාංගම වන ආකාරය ද දක්වා ඇත. මහත් වූ කුසලයක් සිදු වන බුද්ධානුස්සතිය සඳහා උපනිශ්‍රය වන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ දීර්ඝව මෙම ලිපි මගින් කරුණු දක්වනු ලැබේ. එය කියවීම, සිහිපත් කිරීම ද බුද්ධානුස්සති භාවනාවක් වන බව දත යුතු ය.

දුර්භත්වය

බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම දුර්ලභ වන්නා සේ ම එය අතිශය වැදගත් කරුණක් වශයෙන් දක්වා ඇත. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒකපුග්ගල වර්ගයේ දක්වා ඇති කරුණු මෙහි දක්වනු ලැබේ. එම කරුණු අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීමේ වැදගත්කම සහ දුර්ලභත්වය අවබෝධ කොටගත හැකි ය.

‘‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව (සත්ත්වලෝකයෙහි - මිනිස් ලොව) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩපිණිස හිතපිණිස සුවපිණිස (අර්හත්වඵල ලක්‍ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය.’’

සාමාන්‍යය සත්ත්වයින් ලොව සැමදා දක්නට ලැබුණ ද බුදුරදුන්ගේ දර්ශනය ලොව දුර්ලභ වේ. උන්වහන්සේගේ පහළ වීම ලෝකයට මහත් අර්ථයක් ගෙන දෙන්නේ ය. එසේම සියලු සත්ත්වයින්ට එයින් මහත් සුවයක් ලැබෙන්නේ ය. මෙහි අර්ථයන් කවරේ ද යන්න නුවණින් තේරුම් ගත යුතු ය. ලෝකය යනු නිරතුරුව විවිධ ඝට්ඨනයන්ට බඳුන් වෙමින් ගලා යන්නකි. සසර ජීවිතයේ පවත්නා අතිශය දීර්ඝ බව සහ සත්ත්වයා නිරතුරුව මුළා බවකින් යුක්තව කටයුතු කරන හෙයින් එහි යථා ස්වභාවය සාමාන්‍යය නුවණකින් දත නොහැකි ය. එසේ හෙයින් උපත, ජීවත් වීම, මරණය යන කරුණු පිළිබඳ පමණක් තමන්ට පෙනෙන ස්වරූපයෙන් දැන ගන්නා මිනිසුන්ට ජීවිතයෙහි පවත්නා සත්‍යය වූ ස්වරූපය කවරේද යන්න අවබෝධ නොවේ. ඒ සඳහා ඥානය දියුණු වී නොමැත.

දුක් කම්කටොලු

සසර දීර්ඝ බව සහ කිසිදු අර්ථයක් නොමැතිව විවිධ දුක් කම්කටොලු අනුභව කරමින් විවිධ භවයන්හි ප්‍රතිසන්ධිය ලබමින් අතිශය දීර්ඝ වූ ගමනක ඒ ඒ සත්ත්වයින් විසින් නිරත වී ඇති බව ලෝකයාට ප්‍රකට වන පරිදි කරුණු විග්‍රහ කළ හැකි වන්නේ ස්ව ශක්තියෙන් ම සත්‍යය අවබෝධ කළ සම්‍යක් සම්බුදුවරයෙකුට පමණි. ඉපදුණු ස්වභාවය පිළිබඳ හෝ කිසිදු අවබෝධයක් නොමැති සත්ත්වයාට සසර පිළිබඳ කරුණු අවබෝධ කළ හැකි වන්නේ බුදුවරයෙක් ලොව පහළ වී සත්‍යය ලෝකයාට ප්‍රකට කිරීමෙන් පමණි. එහිදි තම ජීවිතයට සිදු වී ඇති අනතුර දක්නා බුද්ධිමත් පිරිස් එහි අර්ථයක් නොදැක සදාකාලික වූ නිවීමක් පිළිබඳ කරුණු දැන ගන්නේ ධර්මය ලෝකයට ප්‍රකට වීමෙනි. එය ඒ ඒ සත්ත්වයාට මහත් සුවයකි. කිසිදු අවබෝධයක් නොමැතිව සසර ඒ මේ අත ගමන් කළ සත්ත්වයා නිවැරදි මාවතට පිවිස සියලු පීඩනයන්ගෙන් මිදීම සඳහා ලොව මාවතක් පවතී යන්න පිළිබඳ දැන ගන්නේ ද ධර්මය දැන ගැනීමෙනි.

එය ලෝකයට මහත් සැනසීමකි. බුදුරදුන්ගේ ලොව පහළ වීම මෙසේ මහත් සැනසීමක් වන්නේ මේ ආකාරයෙනි. අද බොහෝ දෙනා එකතු වී විවිධ ස්වරූපයන්ගෙන් ධර්මය විග්‍රහ කරන්නේ ද, තමා මෙය අලුතින් සොයා ගත දෙයක් යනුවෙන් මහත් පුරසාරමින් අනුන් හෙළා දකිමින් තමා උසස් කොට කථා කරන්නේ ද බුදුරදුන් ලොව පහළ වී ධර්මය දේශනා කොට ඇති නිසා ය. එහෙත් අප අවබෝධ කළ යුතු කරුණ නම් බුදුරදුන් ලෝකයට ධර්මය දේශනා කොට තිබෙනුයේ එකිනෙකාට තර්ක කිරීමට නොව දුකට බඳුන් වී සිටින සත්ත්වයාට එයින් මීදිම පිණිස මහත් අනුකම්පාවෙන් යුක්තව ය. එසේ හෙයින් බුදුරදුන්ගේ වැදගත්කම සහ එහි පවත්නා දුර්ලභත්වය පිළිබඳ නැවත නැවත සිහිපත් කළ යුතු ය. බුදුරදුන්ගේ ලොව පහළ වීමේ දුර්ලභත්වය මෙසේ ද දක්වා ඇත.

දුකින් මිදීම

‘‘මහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැදීම ලොව දුර්ලභය. කවර එක් පුද්ගලයක්හුගේ ද? යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොව දුර්ලභය.’’

‘‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපදනට සමත් වූයේ ආශ්චර්ය මනුශ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙකු යත්. තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොව උපදනට සමත් වූයේ ආශ්චර්ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.’’

‘‘මහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්‍රියා) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර (චෙතොදුඃඛාවහ)වෙයි.’’

‘‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපදනට පොහොනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය...’’

‘‘මහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙණ මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරීයධර්මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදැරුම්) අනේක ධාතූන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදැරුම්) නානාධාතූන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රොතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්හත්ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය...’’

ශ්‍රද්ධාව

ලෝකයට මෙතෙක් කාලයක් විවරව නොපැවති සියලු ධර්මයන් ප්‍රකට වන්නේ බුදුවරයකුගේ පහළ වීමෙනි. ප්‍රඥාව දියණු කොට ලෝකය දෙස මනා නුවණින් යුක්තව දැකීමට මෙය ඉවහල් වේ. ලෝකය හා ජීවිතය පිළිබඳ සත්ත්වයාට ඇති දැනීම ඉතා අල්පය. එසේ හෙයින් ම සෑම විට ම දුක් දේ සැප වශයෙන්, අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්, අනාත්ම දේ ආත්ම, අසුබ දේ සුබ වශයෙන් ග්‍රහණය කරයි. එයින් නිරතුරුව මානසික සහ කායික වශයෙන් විවිධ දුක් අනුභව කරයි. එම දුකින් මිදීම පිණිස ඇතැම් විට නැවත නැවත සත්ත්වයා දුකට බඳුන් කරන ප්‍රාණඝාත සොරකම් වැනි අකුසල ධර්මයන් බහුලව ජීවිතය තුළ වර්ධනය කිරීමට පෙලඹේ. ඒ සියලු වැරදි දර්ශනයන්ගෙන් මි දී යථාර්ථය දැකීමට අවැසි මග බුදුරදුන් ස්වකීය ඥානයෙන් ලෝකයට ප්‍රකට කොට ඇත.

බුදුරජාණන් වහන්සේගේ ඥානය අතිශය පෘථුලය. ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි වන්නේ තවත් එවැනි ම බුදුවරයකුට පමණි. අන් සියලු දෙනා අනුමාන වශයෙන් පමණක් දැන ගනී. ශ්‍රද්ධාව මද පුද්ගලයින් ඇතැම් විට උන්වහන්සේගේ ඥානයන් පිළිබඳ විමති උපදව යි. එය පිළිගත නොහැකිය යනුවෙන් තර්ක ඉදිරිපත් කරයි. මෙය බොහෝ විට යම් යම් විෂයයන් උගෙන ගත් උගතුන් මගින් සමාජගත වන අයුරු දැකගත හැක. එය ඔවුන්ගේ අවබෝධයේ දුර්වල බවක් මිස යථාර්ථය නොවන බව දත යුතු ය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මනාව අවබෝධ කිරීමට ග්‍රන්ථ පරිශීලනය පමණක් ප්‍රමාණවත් නොවේ. එයට අනුසාරයෙන් ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් සේ ම බොජ්ඣංග ධර්මයන් ද සන්තානය තුළ දියුණු තියුණු කොටගත යුතු ය. ක්‍රමයෙන් ප්‍රඥාව වර්ධනය වීමේ දී බුදුගුණ මනාව ප්‍රකට වේ. ඒ පිළිබඳව ද නිරතුරුව අවධානය යොමු කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ විසින් ම මෙම කරුණු මෙසේ දක්වා තිබෙන්නේ සසර ස්වභාවය සහ බුද්ධත්වයේ දුර්ලභ ස්වභාවය උන්වහන්සේ විසින් මනාව අවබෝධ කොට ඇති බැවින් ය. සසර දීර්ඝ කාලයක් බුද්ධත්ත්වය සඳහා පාරමී ධර්මයන් පූර්ණය කළ අතර එසේ පැමිණි අතී දීර්ඝ කාලයේ උන්වහන්සේට සම්මුඛ වූ බුදුරජාණන් වහන්සේලා සහ ඒ ඒ කාල අතර පවත්නා අතිශය දීර්ඝ ස්වභාවය මනාව උන්වහන්සේට ප්‍රකට හෙයින් බුදුවරයෙකුගේ ලොව පහළ වීමේ දුර්ලභ ස්වභාවය සහ එය ලෝකයට කෙතරම් වටින කරුණක් ද යන්න මෙහි දී උන්වහන්සේ මනාව විග්‍රහ කොට ඇත. බුදුවරයකු ලොව පහළ වූ අවදියක මිනිස් භවයක ප්‍රතිසන්ධිය ලැබ එම ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ද අතිශය දුර්ලභ කරුණකි. මෙම ස්වභාවයන් මනාව අවබෝධ කොට බුදුරදුන් පිළිබඳ ශ්‍රද්ධාව උපදවා කටයුතු කිරීමට සැමවිට උත්ස­ාහවත් විය යුතු ය.

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී