ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

මරණය පීඩාවක් කරගන්නෝ

" මහණෙනි, ඒ ගම, ඒ වන ලැහැබ, නදී තොමෝ දැකීමෙන් මට මෙවන් අදහසක් ඇති වුණි. මේ බිම ඉතා රමණීයයි. වන ලැහැබ සිත සතුටු කරවයි. සුදු වැලිතලා ඇති, මනා වූ පාරුතොටු ඇති සිත්කඵ නදිය ද සෙමින් සෙමින් ගලා බසී. මේ සමීපයේ ම ගොදුරු ගමක් තිබේ. ප්‍රධන්වීර්ය කරනු ලබන යම් වූ ද කුල පුත්‍රයකුට තමාගේ ප්‍රධන්වීර්යය වඩන්නට සුදුසුම ස්ථානය මෙයයි."

අප තථාගත බුදුරජාණන් වහන්සේ, මෙසේ දේශනා කරන ලදී. උද්දකරාම පුත්‍ර ගුරුවරයාගෙන් අෂ්ඨසමාපත්ති ලබා එයින් සෑහීමකට පත් නොවූ බෝධිසත්වයන් වහන්සේ, තමන් සොයන නිවන මෙහි නොවන බව අවබෝධ කර ගන්නා ලදී.

ඒ අනුව බෝධිසත්වයන් වහන්සේ අනුගමනය කළ මඟ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ. මහණෙනි, මම කුසලය කුමක් දැයි සොයන්නට උත්සාහ කළෙමි.

අනුත්තර වූ උතුම් නිර්වාණ පදය සොයමින් මගධ දේශයේ පිළිවෙලින් සැරි සැරූවෙමි. උරුවෙලාවෙහි සේනානි ගමට මම පැමිණුනෙමි. එහි සිත්කළු භූමි භාගය, සිත පහදන වන ලැහැබ. වැලි තලාව. පාරු නවතන තොටුපළවල් ඇති ගලා බස්නා නදී, ඒ හාත්පස ගොදුරුගම තිබුණි.

මහණෙනි, ඒ ගම ඒ වන ලැහැබ, නදී තොමෝ දැකීමෙන් මට මෙවන් අදහසක් ඇති වුණි. මේ බිම ඉතා රමණීයයි. වන ලැහැබ සිත සතුටු කරවයි. සුදු වැලිතලා ඇති, මනා වූ පාරුතොටු ඇති සිත්කඵ නදිය ද සෙමින් සෙමින් ගලා බසී. මේ සමීපයේ ම ගොදුරු ගමක් තිබේ. ප්‍රධන්වීර්ය කරනු ලබන යම් වූ ද කුල පුත්‍රයකුට තමාගේ ප්‍රධන්වීර්යය වඩන්නට සුදුසුම ස්ථානය මෙයයි. ප්‍රධන්වීර්යය පිණිස මෙය සුදුසුම ස්ථානය යැයි තෝරාගෙන මම එහි වාඩිවුණෙමි. ඒ ඇසතු වෘක්ෂ මූලයයි. එනම් සිරි මහා බෝ මැඩයි.

මහණෙනි, ඒ මම ජාති ධර්ම වූයෙම්, ජාති ධර්මයේ ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කළෙමි.

බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරනු ලැබූයේ තමන් වහන්සේ විසින් සාර සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමී ගුණයන්ගෙන් ලද අත්දැකීම් අනුවයි. මේ ජීවිතයේත් ගුරුවරුන් වෙතට ගොස් ලෞකික වශයෙන් ලැබූ ධ්‍යාන සමාපත්තින්ගෙන් ලැබූ අත්දැකීම් අනුව තමන් වහන්සේ විසින් කුසලය නම් කුමක් දැයි සොයමින් ආරම්භ කළ ප්‍රධන් වීර්යයෙහි ඵලය ලැබූ ආකාරය යි.

එනම්, භවය තුළ ඉපදෙමින් මරණයට පත්වෙමින් දුක් විඳිමින් පැමිණි තමා ඒ ඉපදීමේ ඇති ආදීනවය මැනවින් තේරුම් ගෙන ඉපදීමක් නැති අනුත්තර වූ සංසාර දුක සාදන කාම ආදී ආශ්‍රවයන් බැහැරවීමෙන් ලබන නිවන සොයමින් නැවත උපදින්නේ නැති ඉතා ම උතුම් වූ ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස් වූ ඒ නිවන ම අවබෝධ කළ බවයි.

බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස පළමුවෙන් ම අදිෂ්ඨාන කරනු ලැබූයේත්, උපතෙහි පවත්නා වූ අප්‍රමාණ දුක්ඛයන් පිළිබඳ ව නුවණින් අවබෝධ කර ගෙනයි. තමන් වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී ලබා සැනසෙන්නට තිබුණු දුකින් නිදහස්වීම හෙවත් නිවන් අවබෝධය අත්හැර සියලු සත්ත්වයන් කෙරෙහි පරම කරුණාවෙන් මෙපමණ දිගු කලක් පාරමී ධර්ම සපුරමින්, දුක් විඳිමින්, අනන්ත දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපාමින් පැමිණුනු බව සඳහන් කළහ.

එසේ සංසාර ගමනේ ඇති අප්‍රමාණ වූ බය, සතර අපාය මුල්කොටගෙන ම අවබෝධ කරගෙන නැවැත ඉපදීමක් නම් සිදු නොවිය යුතු ය. නැවත ඉපදීම නැති කළෙමි යන අදහස සිහිපත් කරමින් ජාති ධර්මයේ ආදීනව දැක ඒ නිවන ම අවබෝධ කළෙමි යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කළහ. ජරා ධර්ම වූයෙම්, ජරා ධර්මයෙහි ආදීනව දැක දිරා යෑමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙමි. අජර වූ යෝගක්ෂේම වූ නිවන අවබෝධ කළෙමි.

එසේ සඳහන් කළ සේ, අනන්ත, සංසාර ගමනේ උපත හා සමඟින් ම දිරාගෙන යෑමත් උරුම කරගෙන ම පැමිණියෙමි. උපදින සියලු සත්ත්වයන්ට ඉන්ද්‍රියන්ගේ ඇතිවන දිරාගෙන යෑම නිසා ඇතිවන අප්‍රමාණ වූ කායික හා මානසික පීඩාවන් පිළිබඳව උන්වහන්සේ නුවණින් සිහිපත්කොට, උපත සේ ම දිරාගෙන යෑමෙහි එනම් ජරා ධර්මයේ ඇති ආදීනවයන් නුවණින් සිහිපත් කළහ.

එසේ ජරා ධර්මයේ ආදීනවය නුවණින් දැක දිරාගෙන යෑමක් නැති අති උත්තම වූ කෙලෙස්වලින් නිදහස් වූ නිවන ම සොයමින් ඒ නොදිරන අනුත්තර වූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස් වූ නිවන අවබෝධ කළ බව භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කළ සේක. ව්‍යාධි ධර්ම වූයෙම් ව්‍යාධි ධර්මයේ ආදීනව දැන ව්‍යාධියක් නැති ඉතා උතුම් වූ කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිර්වාණය සොයමින් ව්‍යාධියෙන් බැහැරව ඉතා උතුම් වූ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් මුළුමනින් ම නිදහස් වූ නිර්වාණය අවබෝධ කළෙමි.

උපත හා සමඟින් දිරාගෙන යෑම වගේ ම ලෙඩදුක්වලටත් උරුමකම් කියන්නට සියලු සත්ත්වයන්ට හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ අනන්ත සංසාරේ ලෙඩදුක්වලට පත්ව විඳි දුක් උන්වහන්සේ ආදීනවයන් වශයෙන් සිහිපත් කළහ.

සිද්ධාර්ථ කුමාර චරිතයේ දී සතර පෙර නිමිති ලෙස මහලු වූ අයෙක්, ලෙඩ වූ අයෙක් ආදී වශයෙන් දකින විට අතීත සංසාර ගමනේ තමන් ද එලෙස දිරාගෙන ගිය බවත් ව්‍යාධීන්ට පත් වූ බවත් ඒ නිසා ම අප්‍රමාණ දුක්විඳි බවත් අත්දැකීම් අනුව මෙනෙහි කරන්නට තරම් ශක්තියක් බෝධිසත්වයන් වහන්සේ වෙත පැවතියේ ය. එසේ ම බෝධිසත්වයන් වහන්සේ ව්‍යාධියෙහි ඇති ආදීනවය නුවණින් සිහිපත් කොට ව්‍යාධියක් නැති ඒ අනුත්තර වූ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිර්වාණය සොයමින් අවසානයේ ඒ නිර්වාණය අවබෝධ කළ බව මෙසේ දේශනා කළ සේක.

මරණ ධර්ම වූයෙම් මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවනට පැමිණියෙමි. බෝධිසත්ව අවධියේ සිට මරණ ධර්මයට පත්ව විඳිදුක අප්‍රමාණ බව මෙහි ආදීනව වශයෙන් සිහිපත් කළේ ය. මරණයට පත්වෙන විට අභාවිත සිතක ඇතිවන දුක්ඛ දෝමනස්සය කොපමණ දැයි ඔබට පැහැදිලි වනු ඇත.

මම මගේ යනුවෙන් පවසන හා තමා සතුකරගෙන උරුමකම් කියමින් සිටින සියලු සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තු එනම් පණ ඇති පණ නැති සියල්ල ම මරණය හා සමඟින් අවසන් වේ.

මරණයට පත්වෙන පුද්ගලයකු ලබන මරණ භය මෙපමණ යැයි සඳහන් කිරීම පහසු නැත. සියලු සංඛත, සංඛාර වස්තු එනම් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු වස්තූන් සංඛත, සංඛාර නම්, ඒ සියලු සංඛත සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් කොට දකින්නට තරම් පුරුදු නොකරන ලද මනසක් ඇති එනම් අභාවිත සිතක් ඇති යමෙකුට මරණය මහා භයක්, මහා පීඩාවක්, අප්‍රමාණ වූ ශෝකයක්, තැතිගැනීමක් බවට පත්වන්නේ ය. එවැනි මරණ ධර්මයේ ඇති ආදීනවය නුවණින් සිහිපත් කළ බෝධිසත්වයන් වහන්සේ නැවත කිසිදා ජාති, ජරා, ව්‍යාධි, මරණයක් නැති නිරුත්තර වූ සියලු කෙලෙසුන්ගෙන් නිදහස්වන නිවන ම අවබෝධ කළ බව භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කළ සේක.

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

- දීපා පෙරේරා

budusarana.lk