අතුරලියේ රතන හිමියෝ උපවාසය අවසන් කරති

අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අවසන් කර තිබේ.

එහිමියන් උපවාසය අත්හැර තිබෙන්නේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. ඔවුන් ඉල්ලා අස් වූ බව මධ්‍යම පළාතේ ආණ්ඩුකාර, නීතිඥ මෛත්‍රී ගුණරත්න එහිමියන්ට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, "අද දින රතන හිමියන්ගේ උපවාසය නතර කරන්න ජනාධිපති තුමා මට කතා කරලා අසාත් සාලි ආණ්ඩුකාර තුමා සහ හිස්බුල්ලා ආණ්ඩුකාර තුමා ඉල්ලා අස් වෙච්ච බවට මට දැනුම් දීමක් කළා. ඒ දැනුම් දීම අනුව මම රතන ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා මුළු සංඝ සභාවට දැනුම් දුන්නා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා, ඒ නිසා උපවාසය නවත්තලා සාමාන්‍ය ජීවිතයට එන්න කියලා," යනුවෙන් කියා සිටියේය.

"ඒක කරලා ඉවර වුණාට පස්සේ මගෙන් ඉල්ලුවා නිවේදනයක් ලබා දෙන්න පුළුවන් ද කියලා. ඊට පස්සේ මම එවේලේ ම ජනාධිපති තුමාට කතා කරලා ෆැක්ස් පණිවිඩයක් ගෙනාවා. ඒ නිවේදනය අනුව රතන හාමුදුරුවො තීරණය කළා ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම නවත්වලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඉදිරි වැඩ කරගෙන යන්න."

ඒ අනුව උපවාසය අත්හළ අතුරලියේ රතන හිමියන් මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. අසාත් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පදවිවලින් ඉවත් කළ යුතු බවට ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර දළදා මාලිගාව ඉදිරිපස දින 4ක් මුළුල්ලේ උපවාසයක නිරතව සිටියහ. එහිමියන්ට සහය පළ කිරීම සඳහා විශාල පිරිසක් මහනුවරට රැස් වී සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ රජය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැතත්, ඉරිදා (ජුනි 02) රාත්‍රියේ ජනාධිපතිවරයා ඔවුන් තිදෙනාම වෙන වෙනම මුණගැසී සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ. අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා අතර අතුරලියේ රතන හිමියෝ ද වූහ.


හිස්බුල්ලා සහ අසාත් සාලි ඉල්ලා අස්වීමෙන් පසුව අතුරලියේ රතන හිමියෝ උපවාසය අවසන් කරති Gossip News Sinhala