Advertisement
Hot Kello

තමං ආදරේ කරන කෙල්ලට නැත්තං කොල්ලට නම නොකියා ආදර වචනෙකින් කතා කරන එක අමුත්තක් නෙවෙයිනේ. හැබැයි ඔන්න අපි දන්න කියන අංකල් කෙනෙක් හිටියා. හැට පැනලා පෙන්ෂන් ගිහින් වුනත් හම්මේ බලන්න එපෑ ඇන්ටිට තියෙන ආදරේ. කතා කරොත් කතා කරන්නේ ‘මගෙ පණ’, ‘සූකිරි බෝලේ’, ‘මගෙ කොකිස් අච්චුව’ කියලා. වෙන එකක් තියා අහල පහල ලව් කරන වයසෙ පොඩි එවුන් මෙහේ එනවා කෙල්ලට නැත්තං කොල්ලට ආදරෙන් කතා කරන විදිය ටියුෂන් පාරක් දාගන්න කියලා. හැබැයි බොලේ පස්සෙ දවසක තමයි අහුවුනේ ඇත්තම සීන් එක. අංකල්ට වයසත් එක්ක මතකේ අංජබජල් වෙලා තියෙන්නේ. ඉතිං ඇන්ටිගේ නම මතක හිටින්නෙ නෑ අවුරුදු ගාණක ඉඳන්, ඒකයි මේ විදියට ආදර වචන වලින් වැඩේ ෂේප් කරගන්නේ!

1. රජ කාලෙ ලව් ටෝක්!

දැන් ඇහෙන ලව් වචන වල හැටියට ඉස්සර, ඒ කියන්නේ අපේ මුත්තලාගේ කාලේ වගේ ලව් කරනකොට මොන වගේ වචන වලින් ආමන්ත්‍රණේ කරන්න ඇද්ද? අපිට ඔය ඓතිහාසික ටෙලි නාට්ටි වලින් එහෙම ඇහෙන්නේ ‘අප්පච්චි’, ‘ළමයින්ගෙ තාත්තා’, ‘හාමිනේ’ වගේ වදන් තමයි. හැබැයි සමහර විට සීරියස් ලව් කරනකොට ‘මගේ නාග මාණික්‍යය’ වගේ වචනත් කිව්වද දන්නෙ නෑ! සමහර විට ඒ කාලේ දැන් වගේ හැම එකකටම ‘මැණික’ කියලා කෙල්ලට කතා කරන්න නැතුව ඇති. ‘මගෙ පසිංගලේ’, ‘මගෙ වෛරෝඩිය’ වගේ ඒවත් කියවෙන්න ඇති!

2. දෙන්නා ෆේස්බුක් එකේ අඳුනගන්න කාලේ!

දැං කාලේ කොල්ලො කෙල්ලො යාලුවෙන්නෙම ෆේස්බුක් එකෙන්නේ. ඉතිං ඔය හිත ගියපු ගෑල්ලමයෙකුට කොල්ලෙක් රික්වෙස්ට් එකක් යවලා කෙල්ල ඇක්සෙප්ට් කලාට පස්සෙ පොඩ්ඩක් පරිස්සමෙන් තමයි කතාවට එන්ටර් වෙන්නේ. ගොඩක් වෙලාවට ‘ඩියර්’ එකෙන් තමයි වැඩේ ගොඩදාගන්නේ. හැබැයි හැම කෙල්ලම ‘ඩියර්’ එකට නැවෙන්නේ නෑ. සමහර විට ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක් අහයි ‘අදම දැන අඳුනගෙන මම කොහොමද ඔයාගෙ ඩියර්’ වුනේ කියලා.

ඊලඟට ගොඩක් වෙලාවට ඔය ආදරේ අහස තරං අය්යලා බැණුං අහගන්න සීන් එකක් තමයි ‘බබා’. ලංකාවේ ලව් කරන කොල්ලො කෙල්ලෝ ඕන එකෙක්ට ලිංග භේදයක් නැතුව සමෝසමේ ‘බබා’ කියාගන්න පුලුවං. හැබැයි දැන් ගොඩක් කෙල්ලෝ ඔය බබා පාට් එකට කැමති නෑ. විශේෂයෙන්ම චැට් කරලා දවස් දෙකෙන් බබා කියනකොට ‘අරූට දෙන්න හිතෙනවා බබා හම්බුවෙන්න’ කියලා අපි දන්න අඳුනන නංකිලා කියල තියෙනවා.

3. ලව් එක හැටට හැටේ යන කාලේ!

ගොඩක් වෙලාවට ලව් එක බදුලු කෝච්චිය වගේ තාම දුවන්නෙ ෆේස්බුක් පීල්ලෙ නං අර හුරතල් කතා බහ ඇහෙන්න ඉඩ තියෙනවා. ‘මගෙ තූති මැණික’, ‘මගෙ තුදු අම්මි’, ‘කුක්කි බෝලෙ’ වගේ ආදර වචන වලින් තමයි චැට් එක පිරෙන්නෙ. සමහර වෙලාවට හොඳට කට ඇරලා ‘අප්පොච්චි’ කියලා තාත්තට ආමන්ත්‍රණේ කරපු පරම්පරාවක සූකිරි නංකියෙක් වුනත් කොල්ලට ස්ටයිල් එකට කට ඇද කරලා ‘අපත්තී’ කියන සීනුත් අනන්තයි!

දැන් ඔය රැප් සීන් එකත් තදට නැගලා යන කාලේ ලව් කරන කොල්ලට ‘බ්‍රෝ’ කියලා කතා කරන කෙල්ලොත් ඉන්නවා කියහන්කෝ. හැබැයි ඒක ලොකු අවුලක් නෑ. මොකද ‘ගොළු හදවත’ යුගේ ඉඳලා කෙල්ලයි කොල්ලයි ලව් එකට එක්කෙනාට එක්කෙනා කතා කරගන්න ක්ලැසික්ම ක්‍රමේ ‘අයියා’, ‘නංගී’ කියලනේ. හැබැයි තාමත් ඕක නෑ කියන්න බෑ. දැන් ඉන්නෙ ‘සුදු අය්යා’, ‘සුදු නංගි’, ‘නංගි බබා’, ‘අය්යා බබා’ ලා. නිකම්ම ‘සුදූ’ කියලත් දෙන්නට දෙන්නා කියාගන්නවා. කට්ට කලු කොල්ලෙක්ට වුනත් කෙල්ල කට ඇරලා ‘සුදූ’ කියනකොට ඌටත් පොඩි ගැම්මක් එනවනේ. නැද්ද

බුකියෙන් එහාට ගිහින් බැලුවොත් අපේ සූටි නංකිලාට සුදු අය්යලාට ආදර වචන හොයලා දෙන්න යුග මෙහෙවර කරපු ඈයෝ ඉන්නවා. එක්කෙනෙක් තමයි සුජීව ප්‍රසන්නාරච්චි අය්යා. ගොඩක් වෙලාවට සුජීව අය්යගෙ පොත් කියෝලා තමයි නංකිලා ඔය ‘රත්තරං’, ‘පණ’, ‘මගෙ දෙය්යෝ’, ‘මැණික’, ‘සුදු මහත්තයා’, ‘මගෙ නෝනා’ වගේ වචන ඉගෙනගන්නේ. හරි හරි, ලව් එක කන් දෙකෙන් බේරෙන කාලෙට ඕන සීරියස් බුවෙක්ගේ බුවියෙක්ගේ කටට ගලාගෙන එන වදන් තමයි ඔය. අපි මේ කියන්නේ අර අමුතු ඇක්සන්ට් වලින්, අහගෙන ඉන්න පූසන්ටත් හිනා පණින විදියට මේ වදන් ඉෂූ කරන අක්කලා අයියලා ගැන.

4. පොඩ්ඩක් විතර රැඩිකල් ලව් ටෝක්

හැම ලේනගෙම පිටේ වයිරං නෑනේ. ඉතින් ඔය සාම්ප්‍රදායික වචන සෙට් එක නැතුව තමන්ගේ කෙල්ලට කොල්ලට කතා කරන එවුනුත් ඉන්නවා. සමහර විට එහෙම කොල්ලෙක් කෙල්ලට කට පුරා ‘මැණිකෙහ්’ කියද්දි කෙල්ලත් ‘අපෙ මහත්තයා’ කියල කියයි.

අපි දන්න කෙල්ලෙක් හිටියා කොමික් සීන් එකේ තදටම රැඳිලා හිටපු. ඒ කෙල්ල කොල්ලට කියන්නේ ‘සුපා’ කියලා. හැබැයි උගේ නමේ එහෙම කෑල්ලක් ගෑවිලාවත් නෑ. බලනකොට ඌ කෙල්ලව ටෝක් කරන කාලේ කෙල්ල ඌට ‘සුපර්මෑන්’ කියලා. ඒක තමයි ‘සුපා’ වෙලා තියෙන්නේ!

5. පොෂ් ලව් වදන්

මෙහෙම ලව් එකක අනිවා ඇහෙන වචන ටිකක් තියෙනවා. ‘මයි ඩාලින්’, ‘ස්වීට් හාට්’, ‘හනි බනි’, ‘බේබි’, ‘බෙබ්ස්’, ‘ලව්’ වගේ වචන ටිකක් මෙල්රෝස් ප්ලේස් බලපු කාලේ ඉඳන් අද වෙනකල් තියෙනවා.

දැං කාලේ ටීවී සීරීස් බලන කොල්ලෝ කෙල්ලෝ ඔයින් එහාට ගිහින් කෙල්ලට කොල්ලට ආදරේට කතා කරන වදන් හොයාගන්න දක්ෂයි. ‘මයි ඇපල් පයි’, ‘හනි බන්ච්’, ‘මයි ඒන්ජල්’, ‘බූබූ’, ‘ඩෝල් ෆේස්’, ‘මාෂ්මෙලෝ’, ‘ඩූඩ්ල් බග්’, ‘සන්ෂයින්’, ‘කප්කේක්’… ඔය වගේ ඕන්නං තව දෙන්න පුලුවන් උදාහරණ ලොරි බාගයක් පිරෙන්න. හැබැයි මෙහෙම තමන් හදාගන්න වචනෙක තියෙනවා මාර ජෙනුයින් ගතියක්. එහෙම වචනෙකින් තමන්ට ආමන්ත්‍රණේ කරනකොට කොල්ලට නැත්තං කෙල්ලටත් තන්තෝසයි. අහං ඉන්න අපිටත් තන්තෝසයි!

6. කසාද බැන්දට පස්සෙ

ඔන්න පුතේ ඔතන තමයි කෙලිය. කසාද බැන්දට පස්සෙ නෝනා නැත්තං මහත්තයා දෙන්නට දෙන්නා කතා කරගන්න හැටි බලන්න ලංකාවේ ගහපු මෙගා ටෙලියක්. අර ‘ඩාලින්ග්’, ‘රත්තරං’ අනං මනං සුන්දර වචනත් දන්නෙම නැතුව තලත්තෑනි වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ ‘ළමයින්ගේ අම්මා’, ‘ළමයින්ගෙ තාත්තා’ ‘මහත්තයා’, ‘නෝනේ’, ‘ඒයි’ වගේ වචන ඇහෙන්න ගන්නවා. එතකොට පරණ තාලේ තැන් වල නං තාමත් ‘හාමිනේ’ වගේ එව්වත් තියෙන්න පුලුවන්. හැබැයි මල පැනලා තාච්චි වලින් ගහගන්න ලෙවල් එකේ වලියක් එනකොට ඒකේ පෙරසලකුණු විදියට දකින්න පුලුවන් කතා කරගන්න වචන වෙනස් වෙන ලෙවල් එකෙන්. ‘යෝදි’, ‘මේ ගෑණි’, ‘මේ මිනිහා’ වගේ වචන ඇවිල්ලා ‘මේ අවලමා’, ‘මේ පඩත්තර…’ වගේ වචන ඇහෙනකොට සිහි මොලේ ඇති ඩයල් එකක් නං හෙමිහිට ගෙදරින් මාරු වෙනවා බූමිකම්පාව පොඩ්ඩක් නිමිලා යනකල්.

7. අනාගතේට හරියන ලව් වදන්

කොහොම කොහොම හරි තොරණේ විස්තරේ පහුකරගෙන කියන්න ආවේ ඉස්සරහට ඔය වචන ඔක්කොම අවුට් ඩේටඩ් වෙයිදෝ කියලා තමයි. ඇයි ඉතින් ඔය ‘මැණික් කැටේ’, ‘රත්තරං’ වගේ වචන වලින් ආමන්ත්‍රණේ කරලා කියන්නේ ඔයා මට කොයි තරම් වටිනවද කියන එකනේ. දැන් කාලේ ඉතින් මුතු මැණික් ගැන කියලා තේරුමක් නෑනේ. ඔන්න ‘මගෙ අයිෆෝන් 7 එක’, ‘මගෙ ගෝප්‍රෝ පැංචා’, ‘මගෙ ප්ලැටිනම් බෝලෙ’ වගේ වචනනං හැබෑවටම වටිනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කෙල්ල ඉස්සරහට මගෙ ‘ගෝල්ඩ්ලීෆ් එක’ කියලා කොල්ලට කතා කරන්නත් පුලුවන් ඔහොම ට්‍රෙන්ඩ් එකක් පටන්ගත්තොත්.