Rukshan Jayasekara



විල්පත්තු වන විනාශයේ තවත් කතාවක් vilpaththu wana winasaya

වනාන්තර නවයකින් සමන්විත වූ විල්පත්තු වනාන්තර පද්ධතිය අවට (විශේෂයෙන්ම උතුරු දෙසින්) පැරණි ගම්මාන පිහිටා තිබූ ආකාරය/ ස්ථාන සහ භූමියේ පිහිටීම පිළිබඳ එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකා ගිය ඇතැම් දේශපාලකයන්ට, පරිසරවේදීන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ට කිසිදු අවබෝධයක් නොමැති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනේ. ඔවුන් සිදු කරන වැරැදි ප්‍රකාශවලින් නොම යන්නේ සමස්ත සමාජයම ය. එම නිසා විල්පත්තු වනාන්තර පද්ධතියට අයත් මරිච්චුකඩ්ඩි-කරඩික්කුලි රක්ෂිත වනාන්තර ප්‍රදේශය තුළ සිදු වන වනාන්තර විනාශය පිළිබඳව නිවැරැදි දැනුමක් ලබා දීම සඳහා සහ විල්පත්තු වනාන්තර පද්ධතියෙහි සුවිශේෂිත්වය පැහැදිලි කරදීම සඳහා අපි මෙම ලිපිය පළ කරන්නෙමු.

එම ප්‍රදේශයේ සිදු කළ ගවේෂණාත්මක සංචාර 5 ක දී පමණ ලබාගත් අවබෝධයෙනුත්, එම ප්‍රදේශයේ පැරණි සවිස්තර සිතියම් (1960 පමණ කාලය දක්වා) පරීක්ෂා කිරීමෙනුත්, එම ප්‍රදේශය පිළිබඳව ලියැවුණු පැරණි පොත්පත් සහ වාර්තා පරිශීලනය කිරීමෙනුත්, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් අසා දැනගත් කරුණුත්, ජනශ්‍රැතියත්, ඉතිහාසය හැදෑරීමෙනුත්, ගූගල් චන්ද්‍රිකා සිතියම් (1984 දක්වා) පරීක්ෂා කිරීමෙනුත්, උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය සහ ආපදා කළමනාකරණ ආයතනය විසින් නිකුත් කරන ලද සංයුක්ත පරිසර අධ්‍යයන වාර්තාව පරිශීලනය කිරීමෙනුත්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික භෞතික සැලැස්ම පරිශීලනය කිරීමෙනුත්, ලංකාවේ සහ ජාත්‍යන්තර පාරිසරික නීතිය, ජාත්‍යන්තර පරිසර සම්මුතීන්, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ ගැසට් නිවේදන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වනාන්තර මායිම්වල ඩිජිටල් සිතියම් (wdpa) ආදිය පරීක්ෂා කර බැලීමෙනුත්, පරිසරවේදීන්, පුරවිද්‍යාඥයන්, නීතිඥයන්, රජයේ නිලධාරීන්, ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් ඇතුළු බොහෝ විද්‍යාර්ථීන් සමඟ සිදු කළ අධ්‍යයනවලින් ලබා ගත් දැනුමත් පාදක කරගෙන මෙම ලිපිය ලියැවේ.

vilpattu01ජාත්‍යන්තර පරිසර සම්මුතීන්ගේ සහ පරිසර නීතියේ මූල බීජය වශයෙන් සැලකෙන ස්ටොක්හෝම් ප්‍රකාශනයේ දෙවන මූලධර්මයෙන් මෙසේ කියවේ.

මිහිතලයේ ඇති ස්වාභාවික සම්පත් වන වාතය, ජලය, භූමිය, වනසතුන් සහ වෘක්ෂලතාවෝ සහ විශේෂයෙන්ම ආදර්ශක වශයෙන් ගැනෙන ස්වාභාවික පරිසර පද්ධතීන් වත්මන් සහ මතු පරම්පරාවගේ සුබසිද්ධිය උදෙසා සැලකිලිමත්ව සැලසුම් කිරීමෙන් හෝ සුදුසු ලෙස කළමනාකරණය කිරීමෙන් සුරක්ෂිත කළ යුතුය.

විල්පත්තු වනාන්තර පද්ධතිය අද දවසේ මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳව අප විමසා බැලිය යුත්තේ ඉහත ප්‍රකාශනය මූලික කරගෙනය.

විල්ලු සහිත පත්තුව හෙවත් විල්පත්තුව

විල්පත්තු වනාන්තර පද්ධතියසහ විල්පත්තු ජාතික වනෝද්‍යානයයනු එකක් නොව දෙකකි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයනු වනාන්තර නවයකින් (9) සමන්විත වූ විල්පත්තු වනාන්තර පද්ධතියට අයත් එක් රක්ෂිත ප්‍රදේශයක් පමණි. විල්පත්තුවවශයෙන් සාමාන්‍ය ජන වහරේ හඳුන්වනු ලබන්නේ මෙම විල්පත්තු වනාන්තර පද්ධතියට අයත් සමස්ත ප්‍රදේශයම වේ. මන්ද, අතීත පරිපාලන ව්‍යුහයේ විල්ලූ සහිත පත්තුව, ‘විල්පත්තුවවශයෙන් භාවිත වූ නිසාවෙනි. නමුත් ඇතැම් ඇමැතිවරු, පරිසරවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමාජය නොමඟ යවමින් විල්පත්තුවයනු විල්පත්තු ජාතික වනෝද්‍යානයපමණක් බව හැඟවෙන පරිදි ප්‍රකාශ නිකුත් කරති. එයින් ඔවුන් ව්‍යංගයෙන් උත්සාහ කරනු ලබන්නේ නව පදිංචි කිරීම් නිසා සිදු කර ඇති වන විනාශය සාධාරණීකරණය කිරීමය.

හෙක්ටයාර දෙලක්ෂයක් පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති විශාල විල්පත්තු වනාන්තර පද්ධතියට අයත් වනාන්තර පරිපාලනමය පහසුව පිණිස දෙපාර්තමේන්තු දෙකක් යටතේ වර්ග දෙකකට බෙදා වෙන්කර ගැසට් කර ඇත. ජාතික වනෝද්‍යාන සහ අභයභූමි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්, රක්ෂිත වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් අයත් වේ.

vilpattu02විල්පත්තු ජාතික වනෝද්‍යානය, විල්පත්තු උතුරු අභයභූමිය, මරිච්චුකඞ්ඩි-කරඩික්කුලි රක්ෂිත වනාන්තරය (කල්ලාරු වනාන්තරය), තබ්බෝව අභයභූමිය, වීරක්කුලිචෝලේ-එළුවන්කුලම රක්ෂිත වනාන්තරය, වෙප්පාල් රක්ෂිත වනාන්තරය, මාවිල්ලූ රක්ෂිත වනාන්තරය, පෙරියමරිප්පු රක්ෂිත වනාන්තරය සහ විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය වැනි වනාන්තර, අභයභූමි සහ වනෝද්‍යාන ආදී එකිනෙකින් වෙන් නොවූ පරිසර පද්ධති රාශියක එකතුවෙන් විල්පත්තු වනාන්තර පද්ධතියවශයෙන් සුවිශේෂී වනජීවී වාසස්ථානයක් ගොඩනැඟී තිබේ. මෙම වනාන්තර පද්ධතිය ලංකාවේ එකිනෙකින් වෙන් නොවූ විශාලතම වනාන්තර ප්‍රදේශය වශයෙන් සැලකේ. එම නිසාම මෙම විල්පත්තු වනාන්තර පද්ධතිය පුත්තලම, අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුනටත්, වයඹ, උතුරුමැද සහ උතුරු පළාත යන පළාත් තුනට අයත් ප්‍රදේශ පුරාත් පැතිර තිබේ. දකුණින් තබ්බෝවේ සිට උතුරින් සිලාවතුර ප්‍රදේශය දක්වා වෙරළබඩට වන්නට කිලෝමීටර 82ක් පුරා අඛණ්ඩ වනාන්තරයක් ලෙස මෙම වනාන්තර පද්ධතිය පැතිරී ඇත.

ජාත්‍යන්තර සම්මුතිය පසෙකලා

ශ්‍රී ලංකාවේ විල්ලූ පරිසර පද්ධතීන් දක්නට ඇත්තේ දෙකකි. එයින් එකක් සෝමාවතිය ආශ්‍රිතව පිහිටා ඇති මහවැලි විල්ලූ පරිසර පද්ධතියත්, විල්පත්තු වනාන්තර පද්ධතිය පුරා පැතිරී ඇති විල්ලූ පරිසර පද්ධතියත් ය. ඒ අතුරිනුත් කරදිය විල්ලූ, මිරිදිය විල්ලූ සහ කලපු දිය විල්ලූ යන තුන් වර්ගයකට අයත් විල්ලූ එකම පරිසර පද්ධතියක් තුළ දැකිය හැක්කේ විල්පත්තු විල්ලූ පරිසර පද්ධතියේ පමණි.

විල්පත්තු වනාන්තර පද්ධතියෙහි ඇති සුවිශේෂත්වය වශයෙන් අවධාරණය කළ යුත්තේ ඒ ආශ්‍රිතව ඇති විල්ලූ පරිසර පද්ධතිය ලංකාවේ දක්නට ඇති එවන් එකම විල්ලූ පරිසර පද්ධතිය බවත්, මුළු ලෝකයටම මෙම පරිසර පද්ධතිය මිල කළ නොහැකි ස්වාභාවික පරිසර පද්ධතියක් වශයෙන් සැලකෙන බවත් ය. එම හේතුව නිසාම රම්සාර් ජාත්‍යන්තර සම්මුතිය යටතේ පවා විල්පත්තු තෙත්බිම් පද්ධතිය ජාත්‍යන්තර වැදගත්කමකින් යුතු සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් නම් කර ඇත.

එමෙන්ම ශීත කාලයට ඉන්දියානු අර්ධද්වීපයේ සිට දකුණු දෙසට එන සංක්‍රමණික කුරුල්ලන් හට ලංකා භූමියේ හමු වන පළමු නවාතැන මෙම වනාන්තර පද්ධතියයි. එම නිසා සංක්‍රමණික සත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය’ (cms) යටතේ ද මෙම වනාන්තර පද්ධතිය සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව ජාත්‍යන්තරයට බැඳී සිටී. එම ජාත්‍යන්තර වගකීම ඉෂ්ට කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් බැඳී සිටින්නේ රටේ ජනාධිපතිවරයා, පරිසර ඇමැතිවරයාගේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ය.

කලා ඔය, මෝදරගම් ආරු, කල් ආරු සහ මල්වතු ඔය (අරුවි ආරු) යන ගංගා මෙම වනාන්තර පද්ධතිය ඔස්සේ මන්නාරම් බොක්ක දක්වා ගලා බසියි. එම ගංගාවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන්නේ ද මෙම වනාන්තර පද්ධතියයි.

පැරණිම මුස්ලිම් පදිංචිකරුවෝ

ඈත අතීතයේ සේද මාවතේ සුවිශේෂී තොටුපළක් වශයෙන් ද එවකට පෙර අපර දෙදිග ප්‍රචලිත වටිනාම මුතු නිෂ්පාදනය කළ ප්‍රදේශයක් ලෙස ද මන්නාරම් බොක්කේ මුතු කර්මාන්තය පාලනය කළ යක්ෂ ගෝත්‍රික අල්ලිරාණි යනාදී රැජිනන්ගේ රාජධානි ලෙස ද විජය කුමරුන් ලංකාවට ගොඩබට තම්මැන්නාව ලෙස ද කුවේණියගේ රාජධානිය ලෙස ද (කුවේණි මාලිගයේ නටබුන් අදටත් විල්පත්තුව තුළ තිබේ), පූර්ව ශිලා යුගයේ සොහොන් හමුවන පොම්පරිප්පු ප්‍රදේශය නිසා ද බෞද්ධ වෙහෙර විහාරවල නටබුන් සහ නොයෙකුත් පුරවිද්‍යා නටබුන් පැතිරී ඇති ප්‍රදේශයක් වශයෙන් ද මෙම විල්පත්තු වනාන්තර පද්ධතිය ශ්‍රී ලංකාවේ අතීත ශිෂ්ටාචාරයේ කැඩපතක් ලෙස පුරාවිද්‍යාඥයන් පවා සලකනු ලබයි.

vilpattu03

මෙම වනාන්තර පද්ධතිය තුළ ඇති සැලකිය යුතු තරම් විශාල ජනාවාසයක් හමුවන්නේ මෝදරගම් ආරු ගං මෝය ආශ්‍රිතවය. මෝදරගම් ආරු නිම්නයේ ඉතිහාසය වසර දහස් ගණනක් දුරට දිව ගියත් මෑතකාලීන ලංකා ඉතිහාසයේ තාවකාලික ධීවර ගම්මාන වශයෙන් පැවති මෙම ගම්මාන පසුකාලීනව ස්ථිර ගම්මාන බවට පත් විය. එම ගම්මාන අතුරින් මරිච්චුකඞ්ඩි ගම්මානය හැර ඉතිරි ගම් සියල්ලම දමිළ කතෝලික ජනතාව පදිංචි වී සිටි ගම්මාන විය. එලෙස ස්ථිර ලෙස පදිංචි වූ ධීවරයන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස ධීවර කර්මාන්තයත් කරවල නිෂ්පාදනයත් සිදු කළේය. පැරණි මන්නාරම් පාර ඔස්සේ ගමන් කළ සංචාරකයන් මොල්ලිකුලම් ගම්මානය වෙත ගොස් කරවල මිලදී ගත්තේය. මොල්ලිකුලම් ගම්මානය වෙත කරවල මිලදී ගැනීම සඳහා පැමිණි මුස්ලිම් වෙළෙන්දන් කිහිප දෙනකු මන්නාරම් පාර අසල තාවකාලිකව නතර වී එම මාර්ගයේ ගමන් ගත් සංචාරකයන්ට කරවල සහ දඩමස් විකිණීම ආරම්භ කර ඇත. පසුව ස්ථිරව එහි පදිංචි වූ ඔවුන් මරිච්චුකඞ්ඩි ගම්මානයේ පළමු මුස්ලිම් පදිංචිකරුවෝ වූහ.

මෝදරගම් ආරු ගඟ දෙපස එම ගං මෝයේ සිට රට ඇතුළට කිලෝමීටර 7ක් පමණ දුරකටත්, එම ගං ඉවුරේ සිට උතුරු දෙසට කිලෝමීටරයක් පමණ ප්‍රදේශයකත් පිහිටි මෝදරගම් ආරු ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පැරණි ගම්මාන කිහිපයක් පැවතුණි. මොල්ලිකුලම් ගම්මානය මෝදරගම් ආරු ගංගා මෝය ආශ්‍රිතව වෙරළට ඉතා ආසන්නව පැවති අතර, එය අතීතයේ සිට දමිළ කතෝලික ජනතාවක් පදිංචිව සිටි ගම්මානයකි. මොල්ලිකුලමට නැගෙනහිර දෙසින් මෝදරගම් ආරු ගංගාවේ උතුරු ඉවුර ආශ්‍රිතව මරිච්චුකඞ්ඩි ගම්මානය පිහිටා තිබූ අතර එය කුඩා මුස්ලිම් ප්‍රජාවක් වාසය කළ ගම්මානයකි. එම ගම්මානය තුළ 1972 දී පමණ සාදන ලද පැරණි පල්ලියක් සහ පැරණි ගොඩනැඟිලිවල අවශේෂ කොටස් දක්නට ඇත.

දෘෂ්ටි මායාවකට යටත්ව

පුත්තලමේ සිට මන්නාරම වෙත විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති මාර්ගයේ එළුවන්කුලමේ සිට සිලාවතුර දක්වා ගමන් කිරීමේ දී වනෝද්‍යානයේ උතුරු කෙළවරේ පිහිටි පිවිසුමෙන් එළියට බසින විටම හමුවන්නේ මෝදරගම් ආරු ගංගාවයි. මෝදරගම් ආරු පාලම පසු කර තවදුරටත් උතුරු දෙසට ගමන් කරන විට මාර්ගය අසලම පිහිටි කුඩා නාවුක හමුදා කඳවුර පසු කරන විටම ඉහත කී පැරණි පල්ලියක් සහිත පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානය හමුවේ.

vilpattu04එම පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානය පිහිටි භූමි ප්‍රදේශය විල්පත්තු වනාන්තර පද්ධතියෙන් වට වූ, මෝදරගම් ආරු ගංගා ද්‍රෝණියේ උතුරට වන්නට පිහිටා ඇත. එම පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානය පසු කර තවත් උතුරු දෙසට යන විට ඔබ ඇතුළු වන්නේ රක්ෂිත වනාන්තරයක් ලෙස 2012.10.21 දින 1779/15 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ගැසට් කර ඇති මරිච්චුකඞ්ඩි-කරඩික්කුලි රක්ෂිත වනාන්තරය හෙවත් කල්ආරු වනාන්තර සීමාව තුළටය. අද එම ප්‍රදේශයට ඇතුළු වන විට වනාන්තරයක ස්වභාවයක් නොපෙනෙන්නේ එම ප්‍රදේශයේ වනය හෙළි කර අලුත් මරිච්චුකඞ්ඩි ගම්මානය මාර්ගය දෙපස පිහිටුවා ඇති නිසාය. වාහනවලින් ගමන් කරන, ප්‍රදේශයේ භූමිය පිළිබඳව අවබෝධයක් නොමැති කිසිදු ආගන්තුක පුද්ගලයෙක්ට පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානය සහ අලුත් මරිච්චුකඞ්ඩි ගම්මානය වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම කළ නොහැකිය. මෙම වන විනාශයට මූලික වූ බදුර්දීන් ඇමැතිවරයා හෝ ඔහුගේ ගෝල බාලයන් සමඟ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට යන කොළඹ මාධ්‍යවේදීන්ට ඔවුන් පැරණි පල්ලිය සහ පැරණි ගොඩනැඟිලි පෙන්වා පවසන්නේ අලුතින් නිවාස සාදා ඇත්තේ පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානයේම බවය. පැරණි මරිච්චුකඞ්ඩි ගම්මානයේ සිට උතුරු දෙසට වන්නට පිහිටි අලුත් නිවාස සාදා ඇති ප්‍රදේශය සැබැවින්ම පිහිටා ඇත්තේ ඉහත කී මරිච්චුකඞ්ඩි - කරඩික්කුලි (කල්ආරු) රක්ෂිත වනාන්තරයට අයත් ප්‍රදේශයේය.

කල්ආරු වනාන්තරය ලෙස පෙර හැඳින්වූ මරිච්චුකඞ්ඩි-කරඩික්කුලි රක්ෂිත වනාන්තරයට එම නම ලැබෙන්නේ එම වනාන්තරයට යාබදව දකුණු මායිමේ පිහිටි මරිච්චුකඞ්ඩි ගම්මානයත්, බටහිර දෙසින් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි කරඩික්කුලි ගම්මානයත් නිසාය. රක්ෂිත වනාන්තරයක් කිරීමට ප්‍රථම එය කල්ආරු වනාන්තරය ලෙස හැඳින්වූයේ එම වනගත ප්‍රදේශය හරහා කල්ආරු ගංගාව ගලා බසින නිසාත්, කල්ආරු ගඟේ ජල පෝෂක ප්‍රදේශය වූ නිසාත් ය.

ප්‍රශ්නය ඇත්තේ විල්පත්තු ප්‍රශ්නය නිරීක්ෂණය කිරීමට ගිය සිවිල් සංවිධානවල පුද්ගලයන් සහ ඇතැම් දේශපාලනඥයන් වනාන්තර විනාශය පිළිබඳව චෝදනාවට ලක් වී සිටින බදුර්දීන් ඇමැතිවරයා සහ ඔහුගේ ගෝල බාලයන්ගෙන් ප්‍රදේශය සහ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව උපදෙස් ගැනීමය. අප ඉදිරිපත් කරන විද්‍යාත්මක, නීතිමය සහ පරිපාලනමය කරුණු දැක්වීම් දෙස නිකමටවත් හැරී නොබලන ඔවුන් හොරාගේ අම්මගෙන් පේන ඇසීමයන ජනවහරේ ඇති පිරුළ අනුව යමින් විල්පත්තු වන විනාශය පිළිබඳව සත්‍යයකුමක්දැයි විමසන්නේ එම විනාශය සිදු කළ පුද්ගලයන්ගෙන් වීම ඉතා හාස්‍යජනකය.

නිලක්ෂ රත්නායක

විල්පත්තුව සුරකිමු සංවිධානය