බිහිරි හටන Bihiri Hatana

 

දිනක් රජ බිසව අන්දරේ හා කතාබහක යෙදී සිටියාය. හදිසියේ ම යමක් මතක් වූ කලෙක මෙන් ඇය අන්දරේට මෙසේ කීවාය:

‘‘ආ අන්දරේ, මට ආසයි නුඹේ බිරින්දෑ දැකල කතා බස් කරන්න. දවසක එක්ක එන්නකො බලන්න මාලිගාවට’’

අන්දරේ මොහොතක් කල්පනා කොට, මෙය බිසවට විහිළුවක් කරන්න හොඳ අවස්ථාවක් යැයි සිතා මෙසේ කීවේය:

‘‘අනේ දේවීන් වහන්ස, ඔබ වහන්සෙ කොහොමද ඈත් එක්ක කතා කරන්නෙ? ඇය ටිකක් බිහිරියි, කන් හරියට ඇහෙන්නෙ නෑ නොවැ.’’

‘‘ආ ඒකට මොකද, මං හයියෙන් කතා කරන්නම්. හෙට ම එක්ක එන්නකො’’ රජ බිසව කීවාය.

‘‘හොඳමයි, එහෙම නම් හෙට ම මං ඇයව කැටුව එන්නම්’’ කියා අන්දරේ ගෙදර ගියේය.

ගෙදර ගිය ගමන් ම අන්දරේ බිසවගේ ආසාව ගැන බිරිඳට කීවේය.

‘‘බිසවුන්නාන්සෙ නුඹව දැකල කතාබහ කරන්න ආසාවෙන් ඉන්නව. ඒ බව මට අද රජවාසලදි කිව්වා.’’

‘‘අනේ මමත් ආසාවෙන් උන්නෙ බිසවුන්නාන්සෙව දැකල කතාබහ කරන්න’’ බිරිඳ ඉතා උනන්දුවෙන් කීවාය.

‘‘ඒත් ඉතින් කොහොමද ඒක කරන්නෙ’’ අන්දරේ දුක් ස්වරයකින් කීවේය.

‘‘ඒ ඇයි අනේ?’’

‘‘අනේ උන්නාන්සෙට හරියට කන් ඇහෙන්නෙ නෑ නොවැ’’ අන්දරේ කීවේය.

‘‘ආ ඒකට කමක් නෑ. මා හයියෙන් කතා කරන්නම්’’ බිරිඳ කීවාය.

පසුවදා අන්දරේ බිරිඳත් කැටුව රජ මාලිගයට ගියේය.

රජ බිසව අන්දරේගේ බිරිඳ දුටු විගස බිහිරි බව මතක් වී මහ හඬින් කතා කළාය.

‘‘මොකද මෙච්චර කලෙකට මාලිගාවට නාවේ?’’ බිසව ඇසුවාය.

මෙච්චර හයියෙන් කතා කරන්නෙ රජ බිසව හැබෑවට ම බහිරි නිසා යැයි සිතූ අන්දරේගේ බිරිඳ ද බිසවගේ හඬට නොදෙවෙනි හඬකින් මෙසේ උත්තර දුන්නාය: ‘‘ඊට වැරදිකාරයා අන්දරේ, මට ඊයෙ නොවැ ඔබ වහන්සේ එන්න කිව් විත්තිය කීවේ’’ 

රජ සබයේ සිටි රජතුමාට මේ මහා ගාලගෝට්ටිය ඇසුණෙන් රජතුමා හනිකට ඒ දෙසට ආයේය. අන්දරේ ඒ පසෙක සිනාසෙමින් ඉන්නවා දුටු රජතුමාට කාරණය අවබෝධ විය.

‘‘දේවිය, ඔය තරම් හයියෙන් කෑගහන්න උවමනා නැහැ. උන්දෑට කන ඇහෙනවා ඔය අන්දරේගේ බොරුවක්.’’ රජතුමා කීවේය.

බිසව ලැජ්ජාවෙන් සිනාසුණාය.

‘‘මේ මිනිහා මටත් ඒ බොරුවමයි කිව්වෙ’’ අන්දරේගේ බිරිඳ නෝක්කාඩුවෙන් අන්දරේ දෙස බලමින් කීවාය.