කරත්ත කවි  Karaththa Kavi Sinhala

karaththa kavi,karaththa kawi,කරත්ත කවි

රථ වාහන සුලභ නොවූ ආදි කාලයේ දුර බැහැර පළාත්වලට මෙන් ම කඳුකර පළාත්වලටද බඩු ගෙන ගියේ තවලම් මගිනි. තරමක් දුරට පාර තොට ඇති වූ පසු බඩු ඇදීම සිදු වුණේ කරත්තවලිනි. ගැල්(=කරත්ත) පදවන්නන් ඒ ගමන්වලදී ගමනට ඉණිමග කරගත්තේ කවි සීපද කියමින් ගොන් දැක්කීමය. මෙන්න එසේ බැවහර වූ කරත්ත කවි කිහිපයක්.
 
බත උයලා කා බී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන යාමෙ පිට වී යමු හිත මිතුර
 
කළුගල් තළාලයි පාරට දමන්නේ
එමගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නො වෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්තෙ කන්දයි මේ ගෙවෙන්නේ
 
වයිර ගොනා දණ ගහන අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට
 
බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනල කන්ද
 
කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක් උනේ
ගම ඉඳලාවත් පණ යන්න නොලැබුනේ
 
බණේ කොහොම කීවත් පව් පලදෙනවා
පිනේ අරුම නො සිතා අපි පහුවෙනවා
ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා
අනේ ගොනේ ඇදපන් මීගමු යනවා
 
තන්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
කළුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
 
දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්නත් නැතුව රෑ දාවල් වෙහෙසෙනවා
ගොන්ඩත් නොයෙක් වද දී-ලා ගෙනියනවා
දැන්පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා
"පව් කළ ගොනෝ ඇදපන් ගාලගාවට"
"මොකද කරන්නේ පූරුවෙ කළ පවට"
"පිනේ අරුම නො හිතා අපි පහුවෙනවා"
"ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා" යන මේ පදවලින් කර්ම විපාකයත් පිනේ අගයත් පවේ ආදීනවත් කියා පානා අතර "දැන් පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා" යි සිහිපත් කිරීමෙන් මහායාන මත අප අතරට වැටී පලපදියම් වී බියක් දුකක් වූ විට දෙවියන් සිහි කොට පිහිට ඉල්ලීමේ සිරත ඇබ්බැහි වූ බවට නිදසුන් දෙයි.