කාරියවසම් රෙජිස්ට‍්‍රාර් රාළහාමි Kariyawasam Registar Ralahami

 

දෙස රැස බස නංවන්නට උපන් හපන්කම් ඇති විරු දරුවන් බිහි කිරීමේ මහඟු භාග්‍යය ලද රෝහණ දේශයෙන් බිහි වූ නිර්ව්‍යාජ දේශ ප්‍රේමියකු ගැන මෙම සටහන තබන්නේ.

 

කාරියවසම් රෙජිස්ට‍්‍රාර් රාළහාමි කි‍්‍ර. ව. 1920 පෙබරවාරි මස 08 වන දින දකුණු ලක වියත් පඬිවරුන්, සාහිත්‍ය සේවීන් රාශියක් බිහිකළ බද්දේගම පුරවරයෙහි උපත ලැබීය. බෝධිසත්ව ගුණෝපෙත හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නා හිමිපාණන් ගේ අතිපාරිශුද්ධ ජන්ම භූමිය වූ හික්කඩුවට නුදුරු තිරාණාගම ගම්වරය පුංචි කාරියවසම්ට සෙවණ දුන් හැදුණු වැඩුණු බිම් පෙදෙස විය. හික්කඩුවේ තිරාණගම ගනේගොඩැල්ලේ ශී සුදර්ශනාරාම විහාරස්ථානය, හික්කඩුවේ ශී‍්‍ර සුමංගල මහ නාහිමියන් වැඩ විසූ හික්කඩුවේ හෙට්ටිගොඩ පුරාණ විහාරස්ථානය සහ බද්දේගම හා තදාසන්න වෙහෙර විහාරස්ථානවල එවක වැඩවිසූ වියත් ධර්මධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතාවය පවත්වාගෙන යමින් ළමා විය ගෙවූ ජී. පී. කාරියවසම් මූලික අධ්‍යාපනය ලැබූයේ හික්කඩුවේ රජයේ විදුහලෙනි. එදා ගාලු පාරේ පැවැති ඒ විදුහල අද දකුණු සිරිලක පතළ නමක් ඇති හික්කඩුවේ ශ්‍රී සුමංගල ජාතික පාසලය. එහි නමට ගැලැපෙන පරිදි පුංචි හුරුබුහුටි කථිකයකු වූ පෝල් කවියට ද, ලේඛන කලාවට ද උපන් හපන්කම් පෑ ශිෂ්‍යයකුව සිටියෙය. බටහිර ඇඳුම් පැළඳුම් ඉවත ලූ කාරියවසම් රෙද්දට හා බැනියමට ආවා පමණක් නොව මෙරට දේශීය පේෂ කර්මාන්තයට මුළු ජීවිතයම කැප කළේය. ‘ලංකා පේෂකර්ම සඟරාව‘ නමින් කාලෝචිත සාර සංග‍්‍රහයන් ද පාඨක ලෝකයාට ප‍්‍රදානය කළ ජී. පී. 1947 සැප්තැම්බර් 17 දිනට යෙදුණු අනගාරික ධර්මපාල ගුණ සමරු දිනයේදී මුළු රට පුරාම කර්මාන්ත (දේශීය කර්මාන්ත නංවා සිටුවීමේ අරමුණින්) සතියක් කි‍්‍රයාත්මක කරන්නට අත හිත දුන්නේය. සිරිලක පුරා ගම් නියම්ගම් අටසිය හැත්තෑපහකින් සමන්විත ශක්තිමත් කර්මාන්ත ජාලයක් ස්ථාපිත කිරීමට පුරෝගාමී වූයේ මෙයින් තුදුස්  වසකට පෙර 1981 ඔක්තෝබර මස 11 වන දින අප අතරින් වියො වූ ජී. පී. කාරියවසම් රාළහාමිය.

 

දිනපතා හිමිදිරි පාන්දර බ‍්‍රහ්ම මුහුර්තයෙන් අවදිවන මෙතුමා පන්සිල් සමාදන්ව, පිරිත් සජ්ජායනාකොට, භාවනා වඩා සිත ගත සන්සුන් කොට ගෙන උට්ඨාන වීර්යයෙන් යුතුව දවස ඇරඹුවේය. අද අප බහුලව භාවිතා කරන ‘ධනාත්මක චින්තනයෙන්’ මනා ලෙස සන්නද්ධ වී සිටි පෙර ගමන්කරුවකු ලෙස කාරියවසම් රෙජිස්ට‍්‍රාර් රාළහාමි හැඳීන්විය හැකිය. දස දහස් සංඛ්‍යාත දේශප්‍රේමී ලංකා පුත‍්‍රයන් පරිවරා ගෙන, 1948 සැප්තැම්බර් 18 වන දින මාළිගාකන්දේ සිට ගාලු මුවදොර දක්වා සිදු කළ ‘ඓතිහාසික දේශප්‍රේමී පාගමන’ ගැන රසවත් සටහනක් විජය රාමනායක ශූරීන් විසින් රචිත ‘පිරුණු ලොවින්’ නම් මාගැඟි කෘතියේ සඳහන් වෙයි. කවියටත්, කථාවටත් වාද විවාදවලටත් ලේඛන කලාවටත් විවර වූ කුසලතා පිරි චින්තනයෙකින් සමන්විතව සිටි කාරියවසම්ට සුදුසු කාලය එළැඹියේය. භාරත දේශයෙන් පටන්ගත් අධිරාජ්‍ය විරෝධී රැල්ලට එක්වූ හෙතෙම අපෙ අනෙක් වැඩිහිටි තරුණ දේශ දේශප්‍රේමී න් සමඟ උරෙනුර ගැටෙමින් අපේ නිදහස් සටනට තම හැකියාවන්ගෙන් පන්නරය ලබාදුන්නේය.ලංකා පේෂකර්මාන්ත සංවර්ධන සංවිධානය, සමස්ත ලංකා කර්මාන්ත ප‍්‍රචාරක මණ්ඩලය, ටිබැට් ජාතික මහින්ද ගුණසමරු සංගමය, අගනුවර එක්සත් බෞද්ධ බල මණ්ඩලය, මහාබෝධි සමාගම, කොළඹ තරුණ බෞද්ධ සංගමය හා හෘදයාංගම සිංහල බෞද්ධයන්ගේ උන්නතිය පතා එවක අකුරටම කි‍්‍රයාත්මක වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි සද් ව්‍යාපාර හැම එකකම කැපී පෙණුනු නායකත්වයක් එතුමන්ට හිමි විය.

 

1965 දී කොළඹ ආනන්ද මහා විද්‍යාල භූමියේදී පැවැත්වූ ඓතිහාසික කර්මාන්ත පුනරුද ප‍්‍රදර්ශනයයි. බොරැල්ලේ රෙක්ස් මන්දිරය එහැම පිටින්ම පේෂකර්මාන්තය ‘දේශීයත්වයට’ හැරවීමේ කේන්ද්‍රස්ථානය විය. ආරියසිංහල සිරිතට විරිතට අනුව දේශීය රෙදිපිළි වලින් සැරසුණු දහස් ගණනක් තරුණ තරුණියන්ගේ විවාහ ලියාපදිංචිය නොමිලයේම කරදෙමින්, අපේ කාරියවසම් රෙජිස්ට‍්‍රාර් රාළහාමි එදා ඇරැඹූ සත් ව්‍යාපාරයෙ අගය අද වන විට මුළු රටට දැනී ඇත.පුවත්පතින්, ගුවන්විදුලියෙන්, පත්පොත් සඟරා තුළින් හා මහජන වේදිකා තුළ නැගූ ජාතික නිදහස් කාහල නාදයේ රාව ප‍්‍රතිරාව වඩ වඩාත්ම අපගේ සිතට නැගෙන්නේ මෙම මාසය ද අපේ නිදහස් මාසය වන නිසාවෙනි.පුංචි පුතේ දුවේ ඒ උදාර පුංචි මිනිසා උසස් අදහස්වලින් යුතු උතුම් මිනිසා ඔබ අප වෙනුවෙන් සිදු කළ මෙහෙයට කළගුණ සැලකීමක් වශයෙන් ‘චාම් ජීවිතයකට’ අවතීර්ණව ස්ව ශක්තියෙන් නැගී සිටීමට ‘සියරට දේ සිරි සැපදේ’ යන්න නිරතුරු අගය කරන්නට අපට පුළුවන් නම් එතුමන් පෙන්වූ මාවත මොන තරම් වටී ද යන්න ඔබටත් ප‍්‍රත්‍යක්‍ෂ වනු ඇත.