දෙස බස රැස පෝෂණය කල කුමාරතුංග මුණිදාස මහතා Desa Basa Rasa Poshanaya Kala Kumarathunga Munidasa Mahatha

 

සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට නව මුහුණුවරක් ලබා දීමට බොහෝ වෙහෙස වූ පඬිවරයෙක් ලෙසට කුමාරතුංග මුණිදාස මහතා හැඳින්විය හැකිය. විශිෂ්ට භාෂාවේදියකු, විවරණකරුවකු, කවියකු වූ එතුමා 1887 ජුලි 25 වන දින උපත ලැබුවේය. එතුමාගේ උපන් ගම වන්නේ දික්වැල්ලේ දික්හේනේ ඉඳිගස්ආර නම් ස්ථානයයි. කුමාරතුංගයන්ට තම පවුලේ සහෝදර සහොදරියන් දස දෙනෙක් වූහ. එතුමාගේ මව නොනා බබා මුතුකුමාරණ හා පියා අබියෙස් කුමාරතුංග නම් වූ අතර, එම දෙපළ එවකට එම ප‍්‍රදේශයේ විසූ ප‍්‍රභූවරු වූහ.දික්වැල්ලේ බෞද්ධ විදුහලේ, වැව්රුකන්නල පිරිවෙනේ, මාතර සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපන කටයුතු හැදෑරූ මුණිදාස කුමාරතුංගයෝ පසුව කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබ බෝමිරියේ ද්විභාෂා පාඨශාලාවේ ආචාර්ය පදවියකට පත් විය. ඉන් අනතුරුව කඩුගන්නාවේ රජයේ පාසලේ මුල් ගුරුවරයා ලෙස ද, පාඨශාලා පරීක්ෂකයකු ලෙස ද, ඉන් අනතුරුව නිට්ටඹුව බෞද්ධ ගුරු අභ්‍යාස විද්‍යාලයේත්, බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයේත් විදුහල්පති තනතුර ද දැරුවේය.

 

අක්ෂර ශික්ෂාව, කුමර ගී, ශික්ෂාවතාරය, ශික්ෂා මාර්ගය, කියවන නුවණ, කුමාර ව්‍යාකරණය, හත්පණ, මඟුල්කෑම, හීන්සැරය, ප‍්‍රබන්ධෝපදේශය, ප‍්‍රබන්ධ සංග‍්‍රහය, පිය සමර, විරිත් වැකිය, සමරුව, කවි ශික්ෂාව, හෙළ මියැසිය එතුමා අතින් රචනා වූ අගනා ග‍්‍රන්ථයන්ගෙන් කිහිපයකි. මීට අමතරව එතුමා සැළලිහිණිය, පරෙවි, ගිරා, හංස, සුභාෂිතය, තිසර, මයුර, අමාවතුර, පූජාවලිය, කුසජාතක කාව්‍යය, සිදත් සඟරාව, සද්ධර්ම රත්නාවලිය, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, ලෝකෝපකාරය, එළු අත්තනගලු වංශය ආදිය සංස්කරණය කළේය. මෙසේ පැරණි සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ නැවත සංස්කරණය කරමින් එතුමා පෙන්වා දුන්නේ පැරණි පොතපතින් නූතන සාහිත්‍යයට ගත හැකි කරුණු බොහෝ බවයි.දීර්ඝ කාලීන පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසට "කි‍්‍රයා විවරණය"හා " ව්‍යාකරණ විවරණය" රචනා කළ කුමාරතුංගයෝ එමගින් සිංහල ව්‍යාකරණ විෂයෙහි සිදු කරනු ලැබූ මෙහෙයට මුල් පියවරක් තැබුවේය. "ඇ" කාරයට නව පණක් දීමට මහත් ප‍්‍රයත්නයක් ගත් කුමාරතුංගයෝ එමගින් අනුරාධපුරයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ සිංහල සාහිත්‍යය නැවත පෝෂණය කිරීමේ මෙහෙයුමක යෙදුණේය. ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් පඬිතුමා විසින් රචිත"A GRAMMER OF SINHALESE LANGUAGE" නම් ග‍්‍රන්ථය පිළිබඳ විවේචනයක් සැපයූ එතුමා "තරු අකුරු හෝඩිය" ලෙස හෝඩියක් ද නිර්මාණය කළේය.

 

අමිශ‍්‍ර සිංහල ව්‍යාවහාරය ව්‍යාප්ත කිරිම සඳහා 1941 දී "හෙළ හවුල" නම් සංවිධානයක් ද පිහිටුවා ගත්තේය. "පහන් සඟරාව" නම් පුවත් පත ආරම්භ කළ මෙතුමා "ලක්මිණි පහන" සඟරාවේ ද සම්පාදක ලෙස කටයුතු කළේය. එසේම "හෙළ හවුල" විසින් ආරම්භ කරන ද "සුබස" ද,  ආරම්භකයා ලෙස කටයුතු කළේය. කුමාරතුංගයන් විසින් රචනා කරන ලද "රහල් හිමියන්ගේ නිර්මාණ කුසලතාව" හා "සිංහල කාව්‍ය ලක්ෂණ", "කාලිදාසගේ කවීත්වය" ආදී විචාර ලිපි 20 වන සියවසේ පළ වූ මුල්ම විචාරාත්මක ලිපි ලෙස සැලකේ.භාෂාවක් ශිෂ්ටවීම සඳහා අක්ෂර වින්‍යාසය, පද බෙදුම, ව්‍යාකරණානුකූලවීම හා ග‍්‍රාම්‍ය ව්‍යාවහාරවලින් තොරවීම යන කරුණු අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් කුමාරතුංගයෝ තම නිර්මාණ සඳහා නිවැරදි නිරවුල් වචන සහිත ශිෂ්ඨ භාෂා ව්‍යාවහාරයක් යොදා ගත්තේය.මෙසේ හෙළ බසට මහත් සේවයක් කළ කුමාරතුංග මුණිදාස මහතා 1944 මාර්තු 02 දින පරලොව සැපත් විය.