කුරහන් කවි කුරක්කන් කවි Kurahan kavi Kurakkan Kawi

Kurahan kavi,Kurahan kawi,Kurakkan kavi,Kurakkan kawi
දුරුතු මහේ දී කැලයට වැදිලා
මසක් පමණ කල් කැලවල් කොටලා
මැදින් දිනේ දී වල් ගිනි තබලා
කුරහන් ඉසිමුව කළුවර බලලා

එල්ල වෙන්ට කවිකාර කීවෙමි බොහොම
කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම
ගොල්ල සමග එති ඌරෝ හැමදාම
නිල්ල අඹති සත් දවසින් බැලුවාම

තනා වංගු ඇර කෙත රැකවල් කරවා
සිනා වෙමින් පැල් ලැග නිදා නො ලබනවා
මනා ප වෙන්ඩ අඹුවට ගොස් තෙපලනවා
බන්ඩි උනා කුරහන් දැන් පූදිනවා

මා කී දේ දෙයියනි බොරුවක් ම නැති
බිම එළඋනොත් කණු මදු බොහොම ළඟ ඇති
ඇහැට වෙහෙස ඇත තුන්යමට නිදි නැති
ගොබ කළුවෙමින් කරහන් කිරිවැද පැසෙති

හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරිවදිනා කුරක්කන්

අහසේ තරු සේම ගොයිතැන් කරන්නේ
පොළොවේ වැලි සේම බෝගත් ඉසින්නේ
මගේ හේනමයි ඌරට පෙනෙන්නේ
විස්නු සමන් දෙවියෝ නඩු බලන්නේ

කටුඇල්ලේ මගේ හේනේ කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන් වලක්කන්
කරගන්නට බැරි උන් මහ කුරක්කන්
ඌරෙනි නොකා පලයව් මගේ කුරක්කන්

මෙදා හේනෙ පැහිලා ඇති කුරක්කන්
රන්වන් කරල් බර වී ඇති සුරක්කන්
ඌරෝ නො කෑවොත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්

කුරක්කන් තුනයි වැපුරුවෙ අමාරුවේ
කපන්ටත් බැරුව අතපය රුදාවේ
අරින්ටත් බැරුව ලොවගම සිනාවේ
කපමු නෑනේ ඉපනැල්ලේ සුබාවේ

එපෙති දෙපෙති මහහේනේ කුරක්කන්
මඟ යන්නොත් මට සරදම් කරන්නන්
එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්

බඳිති කඩුලු බැරි අලියන් නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම දෙවියන්ඩ
යොදති නැකැත් පදමට අසුරා ගන්ඩ
කපති කුරක්කන් දොවියෝ රැකදෙන්ඩ

පන්කැති ටිකටික අරගෙන මෙසේ සිටගතී
රටා වියපු මලු අරගෙන කපති පුවරතී
පුරා හේනෙ අපි ඉඳ ගෙන සිංදු පවසතී
පොළොව මිහිකතේ අපහට යන්නට අවසරයි

කුරක්කනේ ඇට ටික්කිරි බොලන්නේ
ගෑනු රොත්ත වටකර ගෙන කපන්නේ
කබල්පොත්ත ලිප පිටමයි තිබෙන්නේ
රොටී පොත්ත කාල ද වැඩ කරන්නේ

පටි ය මල් පිටිය මල් පටීයේ
පටි තැල්ල කර ලා ගෙන සිටීයේ 
රොටී උයමනෙන් දවසක නසීයේ
රොටී උයන ළඳ මසුරන් වටීයේ

කුරක්කන් රොටිය උදයට පාරට්ටු
නරක්කන් උයාගෙන කාපන් පිට්ටු
කුරක්කන් නැතුව ගිය තැන වෙයි මට්ටු
මෙදා යලට කෑ හැකි කුරහන් පිට්ටු

ළඳුනේ තැනින් තැන ඉස්සර බලාගෙන
රුවිනේ පෙනෙයි ඈතට ගෙඩ සොඳ ලෙසින
පවනේ ගොසින් තැන් තැන්වල වාඩි ගෙන
ළඳුනේ ඉතින් කාපල්ලා මද්දහන 

නුරා වඩන රූබල අඟනන් කැන්දූ
පුරා ළැමද පියයුරු ගන රන් පන්දු
දිරා වැටෙයි අව්වට ගෝමර බින්දු
පුරා කියමු මැණිකේ හවුලට සින්දු

ඇතා වටින පද බැන්දෙමි අමුතුකර
ගෙතූ මල් ලතා වැනි දෑත එන සැර
සිතා ගෙන අපිත් හැම දෙන ම එකවර
පතා ගනිමු උපදින්නට එකනුවර

ගල්පොතු හේනේ ගැටගැට ලොක්කන් 
පිල් නැති ගිරවකු සේමා ලොක්කන්
කිරි රස වැගිරෙන ළපටි කුරක්කන්
තලප ගිලී ඉඳ බඩගෙඩි ලොක්කන්

ඇට ගුඩුගුඩු පිටි ගුඩුගුඩු කුරක්කන්
ඒව කන්ඩ මොන මාලු ද ඉනක්කන්
දොරකඩ වැලේ රට වැටකොළු ඉනක්කන්
එතොත් වරෙන් අද රෑටත් කුරක්කන්

තුට්ටු පොඩි නැතුව ගිය තැන වෙයි මට්ටු
රට්ටු එවන හාලට කර පාරට්ටු
මට්ටු වෙයි සබඳ නො කරන් බොරු ඔට්ටු
පිට්ටු තමයි ගත වැඩුමට ගත කෙට්ටු

රටින් ගෙනෙන ගුලු කුඩිච්චි හාලුත් නාදා මුට්ටුව
රසෙන් වැහෙන මෙරට  හාල නැති ද තමයි ඇඟ කෙට්ටු
කටින් දොඩන් නරිවාදන් එතකොට නැතිවෙයි මුට්ටුව
විටින් විටදි පිහිටවන්නේ අපෙ රට කුරහන් පිට්ටුව