රුසියානු මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි Rusiyanu Maha Lekaka Leo Toolstooi

 

රුසියානු සාහිත්‍යය ගැන කතාකරනවිට අපගේ මතකයට එන ප‍්‍රකට ලේඛකයින් කිහිප දෙනා අතර මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි හට මුල් තැනක් හිමිවේ. “යුද්ධය සහ සාමය” වැනි මහා නවකතා පමණක් නොව ළමා කතාද රචනා කළ ඔහු ළමයින්ට දැඩි ලෙස ආදරය කළේය. එයට හොඳම සාක්ෂිය වන්නේ ඔහු වසර 60 ක්ම ජීවත් වූ ඔහුගේ ‘යස්නායා පොල්යානා’ මැදුර අසල පිහිටි කුඩා පාසලේ ලී උළුවස්සේ ඔහු විසින්ම කොටා තිබෙන වැකියයි. “මේ ලෝකයේ මා ප‍්‍රියකරන සුන්දරම වස්තුව කුඩා දරුවන්ය.” දරුවන්ට ඒ තරමටම ආදරය කළ ඒ මහා ලේඛකයාගේ ළමා වියට අපි අද ළංවෙමු.ලියෝ නිකොලායේවිච් ටෝස්ල්ටෝයි (මෙය තෝල්ස්තෝයි කියාද පවසයි) උපන්නේ 1828 සැප්තැම්බර් 09 දින (මෙය පැරණි දින දසුනට අනුව අගෝස්තු 28 විය.) රුසියාවේ දකුණු මොස්කව් හි ටුලා පළාතේ පිහිටි යස්නායා පොල්යානා නමැති ඔහුගේ දෙමව්පියන්ට අයත් වතුයායක පිහිටි මැදුරකයි. ලියෝ පවුලේ බාලයා විය. ඔහුගේ මව සහ පියා වංශවත් සිටු පවුල්වලට අයත් වූ අතර පියා ආදිපාදවරයෙකු ලෙස සේවය කළේය. එකල සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පවුල්වල දරුවන් පාසල් ගියේ නැත. ඒ වෙනුවට නිවසට ගුරුවරයෙකු ගෙන්වා ලියෝට උගන්වන ලදී. ලියෝගේ පළමු ගුරුවරයා වූයේ කාල් ඉවානිච් නමැති ජර්මන් ජාතික ගුරුවරයෙකි. ඔහු ලියෝට පාඩම් කියා දුන්නේය. කුඩා ලියෝ ඉවානිච් ගුරුතුමාගෙන් චිත‍්‍ර ඇඳීමටද ඉගෙන ගත්තේය. දිනක් ඔහු ඥාති සොයුරු සොයුරියන් සමග පියාගේ අශ්ව රථයේ නැගී හා දඩයමේ ගොස් බොහෝ විනෝද විය. දඩයමේ ගොස් පැමිණි පසු ලියෝ පැන්සල්, කඩදාසි හා පාට ගෙන චිත‍්‍ර අඳින්නට මේසයට වාඩි විය. ඔහු හා දඩයම් ගමන චිත‍්‍රයට නගන්නට විය. ඉන්පසු ඔහු එය පාට කිරීමට සිතුවේය. නමුත් ඔහු සතු වූයේ නිල් පාට පමණි. ඔහු නිල් අශ්වයකු පිට නැගුණු නිල් පැහැති පිරිමි ළමයෙක් සහ නිල් පැහැති බල්ලන් කීප දෙනෙක්ද ඇන්දේය. නිල් පාට හාවෙකු අඳින්නට සැක සිතී චිත‍්‍රය පාට කිරීම නැවතූ ඔහු පියා සොයා දිව ගියේය.“තාත්තේ! නිල් පාට හාවො ඉන්නවද?” ඔහු ඇසුවේය.“ඔව් පුතේ ඉන්නවා”පියා පිළිතුරු දුන්නේය.ඔහු නිල් හාවෙකු ඇන්දේය. මේ ලෙසින් ඔහුගේ මුළු චිත‍්‍රයම නිල් පැහැයෙන් වැසී ගියේය. ඔහු එය ඉරා දැම්මේය.කුඩා ලියෝගේ මිත්තණිය විසුවේ මොස්කව් නුවරය. සාන්තුවරයින්ගේ දිනය සැමරීම සඳහා කුඩා ලියෝ පවුලේ සියලු දෙනා සමග එහි ගියේය. අනෙක් අය විවිධ භාණ්ඩ මිත්තණියට තෑගි කළ අතර ලියෝ මිත්තණියට තෑගි කළේ ඔහු විසින්ම ලියූ කවියකි.ඔහු මිත්තණියගේ නිවසේ සාදවලදී මිතුරු මිතුරියන් සමග පොලන්ත නැටුම්වල (මෂූර්කා) යෙදෙමින් බොහෝ විනෝද විය.කුඩා ලියෝගේ පියා කාර්ය බහුල පුද්ගලයෙකු වූ නිසා ඔහු නිතරම නිවසේ නොසිටියේය. මේ නිසා ලියෝ වැඩි වශයෙන් සමීප වූයේ මවටයි. ඔහු මවට බෙහෙවින් ආදරය කළේය. නමුත් ලියෝ කුඩා වියේදීම මව අසනීප වී මියගිය අතර පියා ද ඉන් ටික කලකට පසු මිය ගියේය. මාපිය සෙනෙහස අහිමි වූ කුඩා ලියෝ ඉන්පසු මොස්කව් හි පිහිටි මිත්තණියගේ නිවසට ගෙන ගියේය. එහිදී ඔහුට නැන්දණියකගේ සෙනෙහස ලැබුණි. කුඩා වියේදී පාසල් නොගොස් නිවසේදීම ඉගෙනීමේ කටයුතු කළ නිසා ලියෝට සමාජයට හුරුවීම තරමක් අපහසු විය. වයස අවුරුදු 17 දී ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවේ කසාන් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. නමුත් එහි ඉගෙනීම ඔහුට ප‍්‍රිය වූයේ නැත. එය අතරමග නතර කර දමා ඔහු නැවත යස්නායා පොල්යානා මැදුර වෙත පැමිණ සිය වතු පිටි දේපළ පාලනය කරමින් කල් ගෙවන්නට විය. ඉන් ටික කලකට පසු ඔහු යුද හමුදාවේ සේවයටද බැඳුණේය. එම කාලයේදී ඔහුගේ සිත සාහිත්‍යය සහ නිර්මාණකරණය කෙරෙහි ඇදී ගියේය. 1851 දී ඔහු පළමු වරට ඔහුගේ “ළමා විය” රුසියානු සඟරාවකට රචනා කළේය. ඉන්පසු ඔහුගේ ලේඛන දිවිය ආරම්භ වූ අතර ඔහු නොකඩවා ප‍්‍රබන්ධ රචනා කළේය. ඔහු මුලදී L.N. යන කෙටි නම භාවිතා කරමින් නිර්මාණ කළේය. “යුද්ධය සහ සාමය”, “ඇනා කැරනිනා”, යන කෘති ලිවීමෙන් ලියෝ ටෝල්ස්ටෝයි යන නාමය රුසියාව පුරා පැතිරී යන්නට විය. පසු කලෙකදී ඔහු සිය ගමේ සෑදූ කුඩා පාසලේ ළමයින්ට උගන්වද්දී අපූරු ළමා කතා සහ උපමා කතා රචනා කළේය. ඔහු 1910 නොවැම්බර් 20 (පැරණි ක‍්‍රමයට නොවැම්බර් 7) මිය යද්දී අවසන් වරට පැවසූයේ “සොයන්න, නොනැවතී සොයන්න” යන්නයි. ඔහු රුසියානු සාහිත්‍යයට සිදු කළ විශිෂ්ඨ සේවය අගයා ඔහුගේ යස්නායා පොල්යානා මැදුර කෞතුකාගාරයක් බවට පත් කර තිබේ. ඔහුගේ අගනා පුස්තකාලයද ඔහු ලියූ ලිපි ලේඛන ද එහි තිබෙන කෞතුක වස්තු අතර ප‍්‍රකට වේ. මෙම කෞතුකාගාරය නැරඹීමට ලොව විවිධ රටවලින් සංචාරකයෝ වසරකට ලක්ෂ ගණනින් පැමිණෙති.