මනාලියද? දෑවැද්දද? Manaliyada? Daawaddada?

නස්රුදින් ජීවත් වූ ප‍්‍රදේශයේ එක් ධනවත් ගොවියකුට හිටියේ දියණියන් විතරයි. ඔවුන් ලොකු මහත් වූ පසු ඔවුන් දීග දීමට ඔහුට අවශ්‍ය වුණා. තම දියණියන්ට සුදුසු මනාලයන් සොයන්නට ඔහු හුඟක් මහන්සි ගත්තා. ඒත් හමු වුණේ නෑ. ඊළඟට ඔහු ඔවුන් වෙනුවෙන් දෑවැදි දෙන බවත් ප‍්‍රසිද්ධ කළා.

මේ අතරතුර තමයි, ඔහුට නස්රුදින් හමු වුණේ. ඔහු නස්රුදින්ට මෙහෙම කිව්වා.

"මං මගේ දූල හිස් අතින් අරින්නෙ නෑ. ඒ අයගෙ අත ගන්න එන මනමාලයන් එක්ක ගියාම ඒ අයට සතුටින් ඉන්න යහමින් මුදලක් අතට දෙනවා."

"ඒ කිව්වෙ ?" නස්රුදින් ඇහුවා.

 

"මගෙ බාලම දුවට වයස අවුරුදු විසිතුනයි. මම එයාට මුදලින් රුපියල් 25,000ක් දෙනවා. ඊළඟ දුවට වයස තිස් දෙකයි. මම එයාට දෙනවා රුපියල් 50,000ක්. ඊළඟ දුවට වයස හතළිස් තුනයි. මම එයාට දෙනවා රුපියල් 75,000ක්." ඒ ධනවත් ගොවියා මහ ආඩම්බරෙන් කිව්වා.

ඒ අහපු නස්රුදින් එක්වරම කල්පනාවට වැටුණා.

නස්රුදින් මොකුත් නොකියා කල්පනා කරන බව දැකපු ගොවියා ඇහුවා, "ඇයි මොනවද කල්පනා කරන්නෙ?" කියලා.

"මං කල්පනා කළේ ඔහෙට තවත් වැඩිමල් දුවක් හිටිය නම් කියලයි".