නස්රුදින් අත දුන් හැටි Nasrudin Atha Dun Hati

දවසක් නස්රුදින් දැක්කා පොකුණක් වටේ සෙනඟ රොක්වෙලා ඉන්නවා. ඔහු ඒ පැත්තට ගියා, ඒ කලබලය මොකක්ද කියලා බලන්න.

ප‍්‍රධාන පූජකයෙක් පොකුණට වැටිලා ගොඩට එන්න බැරිව වතුරත් එක්ක පොර බදනවා. මිනිස්සු වටවෙලා එක් එක් කෙනා අත් දික් කරනවා, ”ඔබතුමාගේ අත මට දෙන්න මං ගොඩට ගන්නම්!” ඒ වටේට හිටපු වැඩි දෙනෙක් පොකුණ දෙසට නැමෙමින්, අත් දිගු කරමින් කිව්වා.

 

ඒත් පූජකතුමා නෙමෙයි, ඒ එකකටවත් ඇහුම්කන් දුන්නෙ. එයා තනියම සටන් කළා, වතුරෙ ගිලෙන්නෙ නැතුව ඉන්න. වරින්වර වතුරෙ යට යමින් උඩ යමින් දිගටම වතුරත් එක්ක පොර බැදුවා. සෙනඟත් වටේට ඉඳන් අත් දිගු කරමින්, ”ඔබතුමාගේ අත මට දෙන්න මං ඔබතුමාව ගොඩට ගන්නම්!” කිය කියා නෑගැහුවා. ඒත් එකකටවත් පූජකතුමා නොවෙයි, ඇහුම්කන් දුන්නෙ.

අන්තිමට නස්රුදින් එතැනට ආවා. ඇවිත් සෙනඟට කිව්වා, ”මට ඉඩ දෙන්න! මං මේක කරන්නම්!” කියලා. සෙනඟ දෙපැත්තට වෙලා නස්රුදින්ට ඉඩ දුන්නා.

පොකුණ ඇතුළෙ වතුරත් එක්ක පොර බදිමින් උන් පූජකයා දිහාට අත දික්කරලා කෑගහලා නස්රුදින් මෙහෙම කිව්වා:

”මගේ මේ අත ගන්න පූජකතුමනි”

ඒක ඇහුන විතරයි, පූජකතුමා අත් දෙකම දිගු කරලා නස්රුදින්ගේ අතේ එල්ලූණා. නස්රුදින් එකපාරටම පූජකතුමාව පොකුණෙන් ගොඩට ඇදලා ගත්තා.

සෙනඟ සතුටින් ඉපිල කෑගැහුවා! ඔවුන් පුදුමයට පත් වුණා, නස්රුදින්ගේ හපන්කම ගැන. ඔවුන් නස්රුදින් වට කරගෙන ඇහුවා, ‘කොහොමද ඒක කළේ ? අපට නං හිතා ගන්නවත් බැහැ’ කියලා.

”හරිම ලේසියි!” නස්රුදින් උත්තර දුන්නා. ”මේ මසුරා කවදාවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්න කෙනෙක් නෙවෙයි. හැම තිස්සෙම ගත්තා මිසක්. ඉතින් ඒ හින්දා ඔහෙලා කිව්ව ‘අත දෙන්න’ කියන එක වෙනුවට මං කිව්වෙ ‘මගේ අත ගන්න’ කියලා. මිනිහා පැනලා මගේ අත බදා ගත්තා!”