රුසියානු සාහිත්‍ය අඹරේ දිදුලන ගොගොල් Rusiyanu Sahithya Abare Didulana Gogol

රුසියානු සාහිත්‍යය වෙනස් ම මඟකට යොමුකළ විශිෂ්ට ගණයේ ලේඛකයකු ලෙස නිකොලායි ගොගොල් පිදුම් ලබයි. ඔහු විසින් රචනා කරනු ලැබූ කෘති අතර "මළ මිනිස්සු" සහ "හිම කබාය" බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත් වූ ඒවා විය.ඔහුගේ සාහිත්‍ය කෘති රුසියානු සාහිත්‍ය තුළ මෙන් ම සිංහල පරිවර්තන සාහිත්‍ය තුළ ද දිදුලයි. මළ මිනිස්සු, හිම කබාය හා ඉවාන් දෙපල වෛර බැඳගත් වග, අබිරහස් විද්ධ චිත‍්‍රය, පිස්සෙකුගේ දිනපොත, බිම්ගෙයි සිරකරුවා, තරාස්බුල්බා එසේ සිංහලයට නැඟුණු කෘති වන අතර රහස් කොමසාරිස් සහ කපුවා කපෝතියි වේදිකා නාට්‍යය ද මෙරට බෙහෙවින් ජනප‍්‍රිය වූ ගොගොල් ගේ නිර්මාණ වේ.නිකොලායි ගොගොල් උපන්නේ 1809 අප්‍රේල් 01 වැනිදා යුක්‍රෝනයේ පොල්ටාවා පළාතේදී ය. වසිලි අනොසිවිච් නම් වූ ඔහු ගේ පියා කලා රසිකයෙක් සහ නළුවෙක් වීය. මරියා ගොගොල් වූ මව දැඩි ආගම් භක්තියෙන් යුතු වූ අතර, ඒ නිසා ම පසුකලෙක දී උමතු වූවා ය. ගොගොල්ට ඕනෑ වූයේ ලොකු මිනිසකු වීමට ය. එහෙත් ඔහු අගටුමිටි විරූපී මිනිසකු විය. එනිසා බොහෝදෙනකුගේ උසුළු විසුළුවලට ලක් වීමට ඔහුට සිදුවිය.ඉගෙනීමට යැයි සිතා අගනුවරට ආවත් ඔහුට සිදුවූයේ ලිපිකරුවකු වීමට ය. ඒ අතරතුර ඔහු හාස්‍යජනක කතා පුවත්පත්වලට ලියා යැව්වේය. පසුව ඔහු ඒවා සියල්ල "ඩිකෙන්කා ගම අසල ගොවිපොළක සවස් කාලය" නමින් කාණ්ඩ දෙකකට මුද්‍රණය කළේය. පුෂ්කින් වැනි මහා කවියෝ ද විචාරකයෝ ද එය මහත් සේ අගය කළ අතර එතැන් පටන් ඔහු මහා ලේඛකයෙකු ලෙස ප‍්‍රසිද්ධ වන්නට විය. ඔහුගේ කෘති උණු කැවුම් මෙන් විකිණී ගියේ ය.ඒ අතරතුර ඔහුට පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සඳහා කථිකාචාර්ය ධූරයක් ලැබිණි. එහෙත් හෙතෙම සාර්ථක දේශකයකු නොවී ය. එහෙයින් ඔහු එයින් ඉවත් වී පූර්ණකාලීන සාහිත්‍යකරණයේ යෙදෙන්නට වූයේ ය. ඔහු ඒකාලයේ රචනා කළ "ශාන්ත පීටර්ස්බර්ග් කතා" නම්වූ කෘතියේ ඇතුළත් වූ හිම කබාය  කතාව මහත් සේ ප‍්‍රසිද්ධ විය. එහි එන ’අකාකි අකාකිච්චි’ නමැති සමාජ අසාධාරණයෙන් පීඩනයට පත් පුද්ගල චරිතය හරහා ඔහු රුසියානු ජනතාවගේ පීඩිත ආත්මය සංකේතවත් කරයි. හිම කබායේ යථාර්ථවාදී රීතිය බොහෝ ලේඛකයන්ට බලපෑවේ ය. "අපි සියල්ලන් ම හිම කබායෙන් එළියට ආවෙමුයි" ඩොස්ටයෙව්ස්කි කළ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිළි වේ.

 

මළ මිනිස්සු කෘතියට වාරණ මණ්ඩලවල බොහෝ කෙනෙහිලිකම් විඳින්නට සිදුවූ අතර, ඉඩම් හිමි රදළයෝ ද නිලධාරීහු ද ගොගොල් හා වෛර බැඳගත්හ. රුසියානු ජනතාවගේ ඇදකුද පමණක් ලියන ෙද්‍රීහියකු ලෙස සමහරු ඔහු හැඳින්වූහ. එහෙත් ගොගොල් කීවේ "තමන් කර ඇත්තේ රුසියන් සමාජයේ හැම පැතිකඩක් ම හෙළි කිරීම බව ය.ගොගොල්ගේ ’මළ මිනිස්සු’ සරල වස්තු විෂයකින් යුතු අනවශ්‍ය සංකීර්ණත්වයකින් තොර නිර්මාණයකි. බොහෝ විශිෂ්ට රුසියානු නවකතාවන්ට මේ සරල බව පොදු ය. එහෙත් මළ මිනිස්සු හි ව්‍යූහය ඉතා සංකීර්ණ වූවකි. එකපිට එක ගොඩනංවන ලද විවිධ තලවල එය ගොඩනැඟී තිබේ. ගොගොල්ගේ අනෙක් සාහිත්‍ය කෘතිවල මෙන් ම මෙහිද ඇත්තේ යථාර්ථයේත්, මනඞකල්පිතයේත් සම්මිශ‍්‍රිත කතා රීතියකි. මේ රීතිය රුසියාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවන පුවත් කීමට අතිශය යෝග්‍ය වූවක් විය.සාහිත්‍ය ලෝකයේ විශිෂ්ටයකු වූ ගොගොල් වේදිකාව ද ආක‍්‍රමණය කළේ ය. වල්දිමිලර් නම්බුනාමය, විවාහය, රජයේ පරීක්ෂක ඒ අතර ඉතා ජනප‍්‍රිය ඒවා විය.ගොගොල්ගේ සමීපතම මිත‍්‍රයකු වූ මහා කවි අලෙක්සන්දර් පුෂ්කින් ගේ මරණය ඔහුට ඉතා නරක බලපෑමක් ඇති කෙළේ ය. ඔහු මළ මිනිස්සු දෙවැනි කොටස ලිවූව ද එය අසාර්ථක යැයි සිතා පුළුස්සා දැම්මේ ය. මේ වනවිට ඔහුට සිය මවගේ ආගමික උමතුව බෝවී ඇත්තාක් මෙන් හැසිරුණු අතර, ඔහුගේ සාහිත්‍ය ලිවීම් තුළ වූයේ පරිහානීය ලක්ෂණයන් ය. ඔහුගේ මානසික ශක්තිය පිරිහී ගියේය.වර්ෂ 1852 පෙබරවාරි 11 වැනිදා ඔහුගේ උමතු ස්වභාවය වැඩි වූ අතර අත්පිටපත් ද පුළුස්සා දැම්මේ ය. අනතුරුව හඬා වැළපුණේ ය. ඒ වර්ෂයේ ම පෙබරවාරි 21 වැනිදා ඔහු මිය ගියේ ය. එවිට ඔහුගේ වයස අවුරුදු 43කි. අවමඟුලට මහ සෙනඟක් රැස්වූහ.