පාරු කවි Paaru Kawi paru kavi

පාරුවේ ගමන් ගනිද්දී අත්විදි ජීවන අත්දැකීම් කවියක් ලෙසින් - පාරු කවි

(Paaru Kavi)

 
අපේ ඉතිහාසයේ අපේ ජන කවි අතරට වැටෙන තවත් එක් කවි වර්ගයකි පාරු කවි. ඈත අතීතයේ මිනිසුන් තමන්ගේ එදිනෙදා ජීවිතයට උවමනා බඩු භාණ්ඩ තැනෙක සිට තවත් තැනෙකට රැගෙන යාම සදහා ස්වභාවිකව භාවිතයට ගත හැකිවූ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදා ගැණිනි. ප්‍රවාහන කටයුතු දියුණුව නොපැවති එවන් යුගයක, ඒ සදහා ඔවුන් ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග භාවිතයට ගෙන ඇත. මේවා බොහෝ විට එකල ස්වාභාවිකව සොයා ගත හැකි වූ දෙල්, දොඹ, වල්අඹ  වැනි දැව වර්ග වලින් සාදන ලදී.    
 
සෝමවීර සේනානායක නම් වූ සම්මානනීය ලේඛකයා විසින් රචිත ගග අද්දර කැලේ නවකතාවේ එක් පරිච්ඡේදයක මෙසේ සදහන් වේ. "අඩි විස්සක් තරම් පළල, අඩි සියයක් තරම් දිග පහුර කොළඹ යාමට සූදානම්ය. පහුර දෙපැත්තේ උණ ලී මිටි මිටි ඇත. ඒ මැද්දේ ඇල්බීසියා කදන් පෙළ ගස්වා එකිනෙකට ඈදා ඇත. කදන් එකිනෙකට ඈදීම සදහා කොරස වැල් සහ දෙකට පැලූ බට දඩු යොදාගනු ලැබෙයි. පහුර මැද්දේ කුඩා පොල් අතු පැලකි. පැල තුළ හට්ටි මුට්ටි, හාල්, පොල්, තුනපහ ද, එළවළු, කරවල ද, මඤ්ඤොක්කා ද ඇත. පැලෙන් පිටත ලී කදන් මත තාර බැරල් පියනක් තබා ඒ මත ගල්තුනක් තබා ඇත්තේ ළිපක් වශයෙනි." යනුවෙන් පහුරක් සාදා ඇති ආකාරය මනාව විස්තර කෙරේ.
 
ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග අතරින් මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු බහුලව භාවිතා කරන ලද අතර, බරින් වැඩි දැව වැනි දේ ප්‍රවාහනය කිරීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලැබ ඇත්තේ පහුරු සහ පාරුවයි. ප්‍රවාහනය සදහා අවශය්ය දෑ පාරුවකට හෝ පහුරකට පිළිවෙලකට පටවාගෙන, අහුරාගන්නා පාරුකරු, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා පසුකරන ගමන් මාර්ගය ඉතාමත් කටුකයි. විටෙක නිශ්චල වුත් තවත් විටෙක රළුවුත් ගං දිය ඔස්සේ ගමන්ගත් ඒ ගමන් මාර්ගය සැබැවින්ම දුෂ්කර වූවක්. ඉතාමත් දිගුවූ මෙකී ගමන් මාර්ගය එක් දිනකින් නිමා කළ නොහැක්කක් විය. දින ගණන්, සති ගණන් ගංගාවක් දිගේ ගමන් කරද්දී, මග තොට හමුවන තොටුපල වල නැවතී උයාපිහා කමින්  ගමන් කළ යුතු විය. මෙසේ එදා ගංගාවල දිවිගෙවූ ඔරු පාරු කාරයෝ තම කාන්සිය, විඩාව, දුක මඟහරවා ගැනීම සඳහා ගායනා කල කවි  පාරු කවි  ලෙසින් හැදින්වීය.
 
සැබැවින්ම පාලු, නිසංසල, විටෙක සැඩ පරුෂ වූ ගංගාවක් දිගේ ඉහළට පහළට පාරුව පැද යාමේදී පාරුකාරයන්ට නිතැතින්ම තම ගෙදර-දොර, අඹු දරුවන් මතකයට එන්නට ඇති. මෙසේ ගමන්කරන අතර තුරදී පාරුකරුවන්ගේ සිත්තුල ඇතිවූ ඒ අහිංසක වූත් නිර්මලවූත් දුක පාළුව, අකා මකා දැමීමටත්,  ඔවුන් ලැබූ සුන්දර වූත්, කටුක වූත් ජීවන අත්දැකීම් සමුදාය වචන බවට හරවා තාලයකට කියන්නටත් යෙදුනු අතර, එය ක්‍රමයෙන් තම සහෝදර පාරුකරුවන් අතරත් ප්‍රසිද්ධ වී ජනප්‍රවාහයට එක්වී පාරු කවි ලෙසින් ප්‍රචලිත වීය.
 
මොටද උපන්නේ මේ වියලුව රටේ
බදපු ගල් බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රටේ
පාරුව පදින රුව බල වේර ගං තොටේ
 
ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගගකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන
 
සීරුව ඔබට කණු නොම සිටුවා මහත
වාරුව ඇතිව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යන
පාරුව වැනි ගෙයක් මේ මුලු ලොවේ නැත
 
මලේ මලේ තැබිලිය වැන්න පොල් මලේ
රළේ රළේ මූදෙන් දමන දිය රළේ
බලේ බලේ රාසිං දෙයියන්ගේ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ
 
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්
 
බෝඹු ඉදල දලුලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
කැළනි ගගේ ඔරු යාදෝ නොයාදෝ
කලුගෙ නගා මට දෙන්නේ නොදේදෝ
 
බෝඹු ඉදල දලුලන්නේ නෑකමටයි
කෙකටිය මලේ වක යන්නේ වතුරකටයි
කැළනි ගගේ ඔරු යන්නේ පැත්තකටයි
කලුගෙ නගා මට දෙන්නේ නෑකමටයි
 
එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ
දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ
පේරාදෙණියේ පාළම දේදුන්න වගේ
 
එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මලවගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

සස්සද සසද දිය මතුපිට තිබෙයි කොළ
සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල
වැස්සට පිණි බබා මෝරන කැකුලු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙලුම් මල

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ජාතිත් වාසනාවන්