පංගු පේරුව Pangu Peruwa

නස්රුදින් යාළුවෙක් එක්ක දුර ගමනක් යද්දී අවන් හලකට ගොඩ වැදුණේ පිපාසය දරා ගන්න බැරි තැනයි.

ඔවුන් දෙන්නා තීරණය කළා එක කිරි වීදුරුවක් අරගෙන දෙන්න ම බෙදා ගෙන බොන්න. ඒ මොකද දන්නවද? නස්රුදින්ගේ අතේ කාසි තිබුණෙ එක වීදුරුවක් ගන්න තරම් විතරයි. අනෙක් යාළුවගේ අතේ සල්ලි නෑ කිව්වා.

නස්රුදින් කිරි වීදුරුව අර ගත්තා.

‘‘තමුසෙ බොනව ඉස්සෙල්ල තමුසෙගෙ බාගෙ.’’ යාළුව නස්රුදින්ට කිව්වා. ‘‘මොකද මං ගාව සීනි ටිකක් තියෙනව. ඒත් ඒක එක් කෙනකුට විතරයි සෑහෙන්නෙ. මං මගෙ බාගෙට ඒක එකතු කරල බොනව.’’

‘‘දැම්මම දානව. මං බොන්නෙ මගෙ බාගෙ විතරයි.’’ නස්රුදින් කිව්වා.

‘‘එක නං බෑ. ඒ සීනි ටික ප‍්‍රමාණවත් වන්නෙ කිරී වීදුරුවෙන් බාගයක් රහ කරන්න විතරයි.’’ යාළුවා කිව්ව.

කිසි කතාවක් නැතුව නස්රුදින් නැඟිටල ගියා. ඔහු කෙළින් ම ගියේ අවන් හලේ අයිතිකාරයා ළඟටයි. මොනවාදෝ කතා කරල ආපහු ආවා. ඒ ආවේ ලුණු පැකට් එකක් අරගෙනයි.

‘‘හොඳ ආරංචියක් මිත‍්‍රයා’’ යළිත් සිය අසුනේ වාඩිවෙමින් නස්රුදින් කිව්වා. ‘‘තමුසෙ යෝජනා කරපු විදියට මං ඉස්සෙල්ලා බොන්න කැමති වෙනව. හැබැයි මං ඒක බොන්නෙ ලුණුත් එක්කයි.’’