නොබෙල්  සාහිත්‍ය සම්මාන‍‍‍‍යෙන් පිදුම් ලද රවීන්ද්‍රනාත් තාගෝර්තුමා Nobel Sahithya Sammanayen Pidum Lada Raweendranath ThagoorThuma

ඉන්දියාවේ කල්කටා නුවර ජොරසොන්කෝ ප‍්‍රදේශයෙ ඉසුරුමත් බ‍්‍රාහ්මණ පවුලක් ජීවත් වුණා. මේ පවුලේ ගෘහමූලිකයා වුණේ දේවේන්ද්‍රනාත් තාගෝර්. ඒ පවුලේ දරුවන් දොළොස් දෙනෙක් හිටියා. 1861 මැයි 06 වැනිදා මේ පවුලට දහතුන් වැනියකුත් එකතු වුණා. පවුලේ බාලයා ලෙසින් මෙලෙස උපත ලැබුවේ පිරිමි දරුවෙක්. දරුවා උපන් වේලාව පරීක්‍ෂා කළ බැලූ විට දිනෙක ඔහු මුළු ඉන්දියාවම දිදුලුවන්නෙකු බවට සාස්තරකරුවන් අනාවැකි පළ කළා.මේ නිසාම තමන්ගේ බාල පුතාට හිරු යන අරුත් ඇතිව රවී යන නම තියන්නටයි තාත්තා කල්පනා කළේ . ඒ අනුව ඔහුගේ සම්පූර්ණ නම වුණේ රවීන්ද්‍රනාත් තාගෝර්ය .

 

සේවකයන්ගේ අණසක යටතේරවීන්ද්‍රනාත් තාගෝර්ගේ පුංචි කාලේ එතරම් සතුටුදායකව ගත වූවක් නම් නෙමෙයි. දැඩි ආගම් භක්තිකයකු වුණු ඔහුගේ පියාගේ අභිමතය වූයේ ළමයින්ගේ ළමාවිය සැප පහසුවෙන් තොර විය යුතුය යන්නයි. ඔවුන්ව කුඩා කල සිටම දුෂ්කර ජීවිතයකට පුරුදු කළ යුතු බවයි පියා කල්පනා කළේ.සේවකයන් යටතේ විසූ ඒ ළමා විය වධ බන්ධන සහිත එකක්ම වුණා. විශාල ගෙයක් තුළ සේවකයන්ගේ අණසකට යටත්වයි කුඩා තාගෝර්ට ජීවත් වෙන්නට සිද්ධ වුණේ. අකුරු කරන කාලය පැමිණි විට තාගෝර්ට ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි ඔහුගේ වැඩිමහල්ලන් පවසා සිටියේ. මේ නිසා ඔහුව මුලින්ම ඇතුළත් කරනු ලැබුවේ ඔරියන්ටල් සේමනේරියටයි. එහෙත් එහිදී ඉගෙන ගන්න ලැබුණේ අකුරු නොව වේවැල් කසායයි. දරුවන්ගේ දඟකාරකම් වලට උපරිම දඬුවම් දෙන්නට ඒ පාසල සැදී පැහැදී සිටියා. මේ නිසා කුඩා තාගෝර්ට ඒ පාසල් ජීවිතය සිත් ගත්තේ නම් නැහැ.පාසල් අධ්‍යාපනයටත් වඩා භයංකර වුණේ ගෙදරදී ලද ටියුෂන් අධ්‍යාපනයයි. මේ ගැන රවීන්ද්‍රනාත් තාගෝර් පසු කලෙක මෙසේ මෙනෙහි කළා.

 

උදේ පාන්දරම නැගිටලා මල්ලව පොර අල්ලන්න ඕනේ. ප‍්‍රතිවාදියා දක්‍ෂයෙක්. ඊට පස්සේ දූවිලි පිහිදාගෙන නැගිට්ටාම තියෙන්නේ කෘෂි විද්‍යාව පංතිය. වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඇටසැකිල්ලක් කාමරයේ එල්ලලා උගැන්නුවා. මුළු අස්ථි          පංජරයම ගැන ඔහු කියලා දුන්නා. හැම නමක්ම තිබුණේ ලතින් භාෂාවෙන් . උදෙ 7 ට තිබුණේ ගණිත පංතිය.  වීජ ගණිතය , ජ්‍යාමිතිය හැම එකක්ම ඉගෙන ගන්න වුණා. ඊට පස්සේ සේවකයන් අරන් එන බත් පත කන්න ඕනේ. උදේ 10 වෙනකොට ඉස්කෝලෙට යනවා. ආයිමත් ගෙදර එන්නේ හවස 4.30 ට.  රෑට ලාම්පු එළියෙන් ඉංග්‍රීසි උගන්වන්න ඉංග්‍රීසි ගුරුවරයෙක් ආවා. රෑට නින්දට ගියහම සැරින් සැරේ ඇහැරෙනවා. කවුරු හරි මොනවා හරි උගන්වනවා වගේ ඇහෙනවා. “ළමා මනසට ඔරොත්තු නොදෙන තරමේ මේ අධ්‍යාපන කි‍්‍රයාකාරකම් වලින් කුඩා තාගෝර් වෙහෙසට පත් වෙලයි හිටියේ. ඒත් ඔහු පොත්පත් කියවන්න නම් දැඩි රුචිකත්වයක් දැක්වූවා. බෙන්ජමින් ෆෑන්ක්ලින්ගේ ජීවිත කතාව කුඩා කාලයේදීම යි තාගෝර් කියෙව්වේ. හින්දු දර්ශනය ඇතුළත් උපනිශද් ග‍්‍රන්ථ , පැරණි සෘෂිවරුන් ගේ කෘති හැදෑරීම තාගෝර්ට විනෝදාංශයක් වුණා.පියා තරමක් සැර පරුෂ කෙනෙක් වුණත් තාගෝර් තම පියාට දැඩිව ආදාරය කළා. පියාත් තම බාල පුත‍්‍රයාට දැඩි සෙනෙහසක් දැක්වූවා. මේ නිසාම දේවේන්ද්‍රනාත් තම දුර ගමන් වලදී බාලයාද කැටුව යන්නට අමතක කළේ නැහැ. ඉන්දියාවේ රමණිය ප‍්‍රදේශවල සුන්දරත්වය රවීන්ද්‍රනාත්ගේ හදවතට උරාගත්තේ, මෙවැනි ගමන්වලින්. පිය ඇසුරින් රවීන්ද්‍රනාත්ට දැනුම් සම්භාරයක්ම ලබා ගන්නට පුළුවන් වුණා.රවීන්ද්‍රනාත් භාරතීය භාෂාව හොඳින් ප‍්‍රගුණ කළා. මේ නිසාම වයස අවුරුදු 12 දී ඔහු ස්වොත්සාහයෙන් කවි ලියන්නත්, නාට්‍ය පට පඳින්නත් දස්කම් පෑවා. රවීන්ද්‍රනාත් කුඩා කල ලියූ කවි පවා හරිම සුමිහිරියි. ධනවත් පවුලක යස ඉසුරින් අනූනව වැඩුණත් ඔහුගේ කවිවල වැඩි හරියක්ම තිබුණේ ශෝකය සහ වේදනාවයි. මේ නිසාම ඒ ප‍්‍රබන්ධ බොහෝ දෙනාගේ සිත් වල තැන්පත් වුණා.

 

උසස් අධ්‍යාපනයට එංගලන්තයටපියාගෙන් ඉගෙන ගත් ඉංග්‍රීසි සහ සංස්කෘත භාෂාවන් නිසාම තරුණ වියේදීම රවීන්ද්‍රනාත් කාලිදාසගේ මේඝදූතය කියෙව්වා. ඔහු සතුව තිබූ ප‍්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගන්නට මේ කියවීම ඉවහල් වුණා.එකල ඉන්දියාවේ සිටි ප‍්‍රභූ පවුල් තම දරුවන් උසස් අධ්‍යාපනය පිණිස එංගලන්තයට යවන්නට වුණා. රවීන්ද්‍රනාත්වද නීතිය හැදෑරීමට එංගලන්තයට යැවිය යුතු බවයි ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දන්වා සිටියේ. ඒ අනුව 1878 සැප්තැම්බර් මාසයේදී රවීන්ද්‍රනාත් උසස් අධ්‍යාපනය පිණිස එංගලන්තය බලා නැව් නැග්ගා.ලන්ඩන් සරසවියට ඇතුළු වූණුඔහු  එහිදී නීතිය හැදෑරීම කෙසේ වෙතත් ඉංග්‍රීසි සාහිත්‍ය නම් හදාරන්න වුණා. පාසල් අධ්‍යාපනයෙන්ද කට්ටි පැන්න රවීන්ද්‍රනාත් සරසවි අධ්‍යාපනයද නිසියාකාරව හැදෑරුවේ නැහැ. ඒ නිසාම හෙතෙම නැවතත් ඉන්දියාව බලා පැමිණියා.සාහිත්‍යයට ලොල්වුණු රවීන්ද්‍රනාත් සාහිත්‍යකරණයේ නිරත වන්නට තීරණය කළේ. 1909 දී රචනා කළ ගීතාංජලීය මුළු මහත් විශ්ව සාහිත්‍යයේම අවධානය දිනා ගන්නට සමත් වුණා. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ප‍්‍රකට කෘතීන් අතර කීපයක් ලෙසින් ගෝරා, පලතුරු එකතු කිරීම, මිනිසාගේ ආගම, අඬසඳ සහ තැපැල් කන්තෝරුව හඳුන්වන්න පුළුවනි. ඔහුගේ විශිෂ්ටතම ගීතමය නිර්මාණ අතර ඉන්දියාවේ ජාතික ගීීයටද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.1913 වර්ෂය තාගෝර්තුමාගේ ජීවිතයේ ස්වර්ණමය වසරක් ලෙසින් හඳුන්වන්න පු‍්‍රළුවනි. සාහිත්‍ය ලෝකය වෙනුවෙන් කළ උදාර සේවය වෙනුවෙන් එතුමාට නොබෙල් සාහිත්‍ය සම්මානය ප‍්‍රදානය කළේ එම වසරේ වීම ඊට හේතුවයි. නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ප‍්‍රථම ආසියාතිකයා වූයේද මෙතුමායි.සංගීතය, නැටුම්, ගැයුම් සඳහා උචිත ස්ථානයක් ඉන්දියාවේ නොමැති බව තේරුම් ගත් තාගෝර්තුමා 1921 දී ශාන්ති නිකේතනය ඇරඹුවා.භාරත නිදහස් සටන වෙනුවෙන් ගාන්ධි තුමා හා අත්වැල් බැඳගත් තාගෝර්තුමා ද සිය කාව්‍යමය අදහස් මගින් ජනතා සිත් සතන් පුබුදුවාලන්නට සමත් වුණා.රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලංකාවටද දෙවරක් පැමිණි අතර එතුමා අතින් හොරණ ශ්‍රීපාලි මණ්ඩප භමියේ වූ අරුන්දතී ශාලාව විවෘත කරනු ලැබුවා.ශ්‍රේෂ්ඨ ලේඛකයකු , සංගීතඥයකු, නාට්‍ය ශිල්පියෙකු ලෙස පමණක් නොව දේශ පෙ‍්‍ර්මියෙකුද ලෙස කටයුතු කළ රවීන්ද්‍රනාත් තාගෝර්තුමා 1941 අගෝස්තු 7 වැනිදා තමන් උපන් ග‍්‍රාමයේම අවසන් ගමන් ගියා.