සිංහල කම දැරූ ආගන්තුක කවියා එස් .මහින්ද හිමි SinhalaKama Daruu Aganthuka Kawiya S.Mahinda Himi

බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස 

සිතව් සිංහල ජාතිය පෙර පැවති ය 

සනඟව් තව තවත් තිර සර තරුණ ගො  ස

වරෙව්, යමව් නැගිටිව් නොපියව් දෙ ඇ  ස

 

1901 වර්ෂයේ දී ටිබෙට් රටේ උපත ලද එස්. කේ. ටසිලිම්ගල් නම් කුමරුවා වයස අවුරුදු 11 දී පමණ ලංකාද්වීපයට සංක‍්‍රමණය වන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. භික්ෂුවක් වූ තම වැඩිමහල් සොයුරාත්, ජර්මන් ජාතික හිමි නමක් වූ ඥානතිලෝක හිමියනුත් සමඟ එසේ ආ බව පොත පතෙහි සඳහන් වේ.එලෙස ලංකාවට සපැමිණි ටසිලිම්ගල් දරුවා ඥානතිලෝක හිමි එවකට වැඩ සිටි දොඩම්දූවේ පොල්ගස් දූව නම් ආරණ්‍ය සේනාසනයේ දී පැවිද්ද ලබා ගත්තේය. ඒ රත්ගම සිරි චූලතිස්ස නාහිමියන් වෙතිනි. පැවිදි දිවියට එළඹෙත්ම එස්. මහින්ද හිමි ලෙස නම් තබා ගත් මේ හිමියෝ දොඩම්දූව ශෛලබිම්බාරාම පිරිවෙනෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය. මහින්ද හිමියෝ තම අධ්‍යාපන විෂයන්ට අමතරව විද්වත් ගිහි පැවිදි පිරිස් ඇසුරු කරමින් අප රටේ ඉතිහාසය, භාෂා දැනුම, සිරිත් විරිත්, සංස්කෘතිය ආදිය පිළිබද වැඩි දුරටත් හැදෑරුවේය.මේ විද්වත් පිරිස එවකට අප රට වැටී තිබූ අගාධය පිළිබඳ කළකිරී සිටි අතර, මොවුන් ගේ ඇසුර නිසාම මහින්ද හිමියන්ගේ අප රටට වූ ඇල්ම ද වැඩි විය. කලාකාමී අදහස් ඇති හිමි නමක් වූ මහින්ද හිමියෝ අප රට ගැන කවියෙන් වර්ණනා කළේය. දේශප්‍රේමී කවි රචනා කළේය. විදේශීය හිමි නමක් ශ‍්‍රී ලංකාවට තම මවු රටටත් වඩා ආදරය කිරීම එකල ජනතාවට විශ්මය ගෙන දෙන්නක් විය. ක‍්‍රමයෙන් දකුණු පළාතේ සිට කොළඹට ආ මහින්ද හිමි කොළඹ ප‍්‍රධාන පිරිවෙන් කිහිපයක ඉගෙනීම් කළ අතර, අගනුවර දී තවත් විද්වතුන් රාශියක් ඇසුරු කිරීමට ද අවස්ථාව ලැබුණි. මේ වන විට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට ගලවා ගැනීමට අප රටේ ජාතික වීරයෝ කටයුතු කළහ. මේ දුටු මහින්ද හිමියො ද ඔවුන් සමගින් එක් වූහ. එතුමා කවියෙන් ජනතාව ප‍්‍රබෝධමත් කළහ.

 

කෙස් ගස පවා පිට රටවල මිනිසුන්  නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්  නේ

හිස් මොළ තියෙද්දී ඒ ගැන නොසිතන් නේ

ඇස් ගෙඩිවලට හෙණ වැදිලද සිහලුන්  නේ

 

මේ අතර ආනන්ද මහා විද්‍යාලයේ අදුරුවරයකු ලෙස බැඳුණු මහින්ද හිමි කවිය අවියක් කොට පාසල් සිසුන් ද දැනුවත් කළේය. මෙය ප‍්‍රබල ජාතික අවදිවීමකට හේතු විය.

 

ජාතිය රන් විමනක්  වේ

ආගම මිණි පහනක්  වේ

එය රැක ගන්නට මෙලො  වේ

සමත් වුනොත් පුත නුඹ  වේ

 

මෙලෙස සිංහලයන් තුළ ජාතික හැඟීම් වර්ධනය කරවීම සඳහා මහින්ද හිමියන් විසින් කවි පොත් ද රචනා කළේය. “ඔවා මිණි මුතු”, “රත්නමාලි කාව්‍යය”, “ලංකා මාතා”, “නිදහස් මන්ත‍්‍රය” ආදිය ඉන් කිහිපයකි. මීට අමතරව මෙරට බාල පරපුර වෙනුවෙන් තවත් ළමා ගීත පොත් කිහිපයක් ද නිර්මාණය කළේය.“ආනන්ද ගීතය”, “ජාතික දරු නැලවිල්ල”, “ළමා කිවි කළඹ” ඉන් කිහිපයකි. ධර්මපාලතුමා කලකට පෙර සිංහලයන් අවදි කළා මෙන් ම ගීතවත් වූ කවියෙන් සිංහලයන් අවදි කිරීමට කටයුතු කළ එස්. මහින්ද හිමියෝ 1957 මාර්තු 16 වන දින අළුබෝමුල්ල විහාරස්ථානයේ දී අපවත් වූහ.