විශාරද නන්දා මාලිනී (Visharada Nanda Malani)

 

ජීවන තොරතුරු

එදා,එනම් 1943 අගෝස්තු මස 23 දින අළුත්ගම ලෙවන්දූව ගමෙහි මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා හා ලියනගේ එමිලින් පෙරේරා දෙපළට දාව මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා දැරියගේ උපත සිදුවිය. ඇය දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක හතර වෙනියා විය. පසු කලෙක කොටහේන හෙට්ටියාවත්තට පැමිණි නන්දා දැරිය කොටහේන ශ්‍රී ගුණානන්ද විදුහලින් සිප්සතර හැදෑරීය. 1962 වන විට පාසල තුළ සිය දස්කම් මැනවින් විදහා දක්වමින්, කවි කියන නන්දා නමින් ප්‍රකට වූ මැය, 1962 වන විට පාසල් 32ක් අතර පැවති කවි තරඟාවලියකින් ප්‍රථම ස්ථානය ලබාගෙන සිටියාය.

නන්දා දැරියගේ  මෙම දස්කම් හඳුනාගත් මාග්‍රට් පෙරේරා මහත්මිය ඇයව ගුවන් විදුලිය වෙත යොමු කරන ලදි. ගුවන් විදුලියේ ළමා පිටියට එක්වුණ නන්දාට සිය හැකියාවන් එළි දැක්වීමට එතැන තෝතැන්නක් විය. සිය ප්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස “දුර පවනේ මේ කුළු ගුවනේ“ ගීතය ගායනා කළ මැය, නන්දා මාලනී නමින් සිය ගායන දිවිය ආරම්භ කළාය. (මාලිනී යන නම ඇයව සිය නිවසේදී අමතන ලද නාමය විය.) ළමා පිටියේ නිර්මාණ වලට දායක වෙමින් සිටි නන්දා මාලිනියට, මඩවල එස්. රත්නායක, විමල් අභයසුන්දර, ඩබ්. ඩී. අමරදේව, මහගමසේකර වැනි ප්‍රවීන කලාකරුවන්ගේ වැඩසටහන් වලටද දායක වීමට ලැබුණි.

මෙසේ සිදු වූ ඇයගේ ප්‍රථම දායකත්වය “මධුවන්ති“ වැඩසටහන සඳහා විය. 1962 දී අමරදේවයන් තම ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය කළා වූ රන්මුතු දූව චිත්‍රපටයේ ගීත ගායනයට නන්දා මාලනිය එක්කර ගැනීමට ඇයගේ ගායන දිවියේ වැදගත් සන්ධිස්ථානයක් සළකුණු කරන්නට විය. මේ සඳහා ඇය නාරද දිසාසේකර සමග ගැයූ “ගලන ගඟකි ජීවිතේ“ ගීතය වෙනුවෙන් 1964 වසරේ ප්‍රථම වරට පැවැත්වූ සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායනය වෙනුවෙන් සම්මාන හිමිවිය. මෙය නන්දා මාලිනියගේ මෙන්ම, එහි යුග ගායනයට එක් වූ නාරද දිසාසේකරගේ ද ප්‍රථම සමිමානය විය. 1962 දී සිය පාසැල් දිවිය අවසන් කල නන්දා මාලිනිය, පසුව අමරදේව සහ බී වික්ටර් පෙරේරා යන සංගීතඥන්යන්ගෙන් සංගීතය හැදෑරීම කර ලක්නවි හී භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයට ඇතුළු වී මුන්සුඩ් අලි සහීබි මහතා යටතේ සංගීතය හදරා,එහි ඩිප්ලෝමාව ද හිමිකර ගත්තාය. මින්පසු ලංකාවට පැමිණි මැය De Mezenod විදුහලේ සංගීතය ගුරුවරියක් ලෙස සේවය කරන අතරතුර ගුවන්විදුලි වැඩසටහන් වලට දායක වීම ද නොකඩවා සිදු කළාය. 1963 දී නන්දා මාලිනී සුනෙත් ගෝකුල සමග විවාහ වූවාය. විවාහයෙන් පසු ඇයට වරුණි රසෝජා හා අමා සාරදා දියණියන් දෙදෙනා ලැබුණි. 1976 වන විට ගීත ගායනය මෙන්ම ගීත සඳහා සංගීත නිර්මාණය කිරීම ද නන්දා  මාලිනිය විසින් සිදුවිය.

“හද විල කළඹන“, “සැඳෑ කළුවර“ වැනි ජනප්‍රිය ගීත රැසක සංගීත අධ්‍යක්‍ෂණය ඇය සිදු කළ අතර නීල් රූපසිංහගේ “සරදියෙල්ගේ පුතා“ චිත්‍රපටියේ “වටු වැද්දා“ නම් නාට්‍යමය ජවනිකාවට සංගීතය සපයා චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණය  ද ආරම්භ කළාය. 1981 දී තිරගත වූ “බඹා කෙටූ හැටි“ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණද නන්දා මාලිනී විසින් සිදු කරන ලදි. මෙය කාන්තාවක විසින් සිංහල චිත්‍රපටයකට සංගීතය සැපයූ ප්‍රථම අවස්ථාව විය. 1972 දී නන්දා මාලිනී ඇගේ ප්‍රථම ඒක පුද්ගල ගීත ප්‍රසංගය වූ “ශ්‍රවන ආරාධනා“ ප්‍රසංගය ඉදිරිපත් කරමින සිය සංගීත දිවිය නව මගකට යොමු කළාය.

ඇගේ දෙවන ප්‍රසංගය වූයේ 1982 දී ඉදිරිපත් කළ “සත්‍යෙයයේ ගීතය“ ප්‍රසංගයයි. ප්‍රසංග වාර 500ක් වේදිකාගත වූ මෙම ප්‍රසංගය හා ඉන්පසු ඉදිරිපත් කළ “පවන“ ප්‍රසංගය තුළ වූ ගීත, හුදෙක් ප්‍රේමය, විරහව වැනි සුලභ මාතෘකා වලට පමණක් සීමා නොවුන අතර එවකට ශ්‍රී ලාංකිකයින් අත්දුටු භීෂණය, දූෂණය, සමාජ අසාධාරණය, මර්ධනය වැනි කාලීන මාතෘකා රැගත් නිර්මාණ ද විය. මේ ප්‍රසංග හේතුවෙන් එම ගීත ගායනා කළ නන්දා මාලිනී හටද, එම ගීත රචනා කළ සුනිල් ආරියරත්න හා විවිධ අංශ වලින් දායක වූ කලා කරුවන් රැසකට ද මරණීය තර්ජන පවා එල්ල විය.

සිය ඒක පුද්ගල ප්‍රසංග ආරම්භ කිරීමත් සමඟ නන්දා මාලිනී ශිල්පිනිය, තම සංගීත ප්‍රසංග විදේශයන්හි ඉදිරිපත් කිරීමද ආරම්භ කළාය. 1981 අප්‍රේල් 11 වන දින ලන්ඩන් නුවර දී ඉදිරිපත් කළ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය, ඇගේ ප්‍රථම විදේශගත සංගීත ප්‍රසංගය මෙන්ම ශ්‍රී ලංකාවේ ගායන ශිල්පියෙකු විදේශගත පැවැත්වූ ප්‍රථම ප්‍රසංගය ද එයම විය. ඉන්පසු අබුඩාබිය, රෝමය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ටේලියාව, සිංගප්පූරුව, ජිනිවා, බර්ලීනය, බහරේන්, බායි, මාලදිවයින ආදී රටවල් ගණනාවක නන්දා මාලිනියගේ ප්‍රසංග වේදිකාගත විය.

ගුවන් විදුලි, චිත්‍රපට, වේදිකා ප්‍රසංග යන මාධ්‍යයන් තුළින් රසිකයා අතරට පැමිණි නන්දා මාලිනිය, 1974 දී සිය ප්‍රථම කැසට් පටය නිකුත් කර නවතම මාධ්‍යයකින් සිය රසිකයන් අතරට පිවිසීම ආරම්භ කළාය.එදා පටන් මේ වන තෙක් ඇය කැසට් පට 25කට අධික ප්‍රමාණයක් එළි දක්වා ඇත. එමෙන්ම දැන් ජනප්‍රිය මාධ්‍යයක්ව පවතින සංයුක්ත තැටි ගණනාවක් ද එළි දක්වා ඇත. වර්තමානයේ ද වසරක් පාසා ඇගේ නව නිර්මාණ වලින් යුත් කැසට් පටයක් හා සංයුක්ත තැටියක් එළි දැක්වීම සීමා සහිත සිං ලංකා සමාගම විසින් සිදු කරයි.

ඉහත කී මාධ්‍යයන්ට අමතරව 80 දශකයේ පටන් විකාශනය වූ රූපවාහිනී ටෙලි නාට්‍ය රැසක තේමා හා පසුබිම් ගායනා රැසකටද විශාරද නන්දා මාලිනිය දායක වූවාය. සිනමා නිළි ගායිකාවකගේ ජීවිත කථාව තේමාව වූ, බෙනට් රත්නායකයන්ගේ “තරු“ ටෙලි නාට්‍ය යේ සියළුම ගීත ගායනය නන්දා මාලිනිය විසින් සිදු කෙරිණි. මෙසේ විවිධාකාර වූ මාධ්‍ය තුලින් වසර 35 කට අධික කාලයක් සිය මධුර හඬින් රසිකයින්ගේ ගී පවස නිවාලමින්ද, ඔවුන් දැනුවත් කරමින්ද, ශ්‍රී ලාංකික සංගීත කරළියේ නොමැකෙන මෙහෙයක් කළ නන්දා මාලිනිය ඉදිරියටද නව නිර්මාණ තුළින් සිය සහෘදයින් අතරට පැමිණීම සිදු කරනු ඇත.

සම්මාන

නන්දා මාලිනිය පිදුම් ලැබූ සම්මාන

සරසවි සම්මාන

වසර                                         ගීතය                                        චිත්‍රපටය

1963    -                       ගලන ගඟකි ජීවිතේ                                 රන්මුසුව

1965    -                       මේ සිංහල අපගෙ රටයි                             සාරවිට

1967    -                       රංගා                                                   සැඩොල් කඳුලු

1968    -                       කිංචි පිංචි පුංචි පැංචි                                ආදරවන්තයෝ

1979    -                       හඳ හාවුන් හඳේ                                    මොණරතැන්න

1980    -                       (කවි ගායනය)                                      සිරිබෝ අයියා

1981    -                       දෙනෝදාහක් නුවන් අතරේ                      වජිරා

1982    -                       අම්මාවරුනේ                                       යසඉසුරු

1992    -                       අහසින් බසින්                                      පෙම් රජදහන  

1995    -                       ඉවුරු බිඳුනු ගං තලාව                            අඹු දරුවෝ

ජනාධිපති සම්මාන

1980    -                       (කවි ගායනය)                                      සිරිබෝ අයියා

1981    -                       දෙනෝදාහක් නුවන් අතරේ                     වජිරා

1982    -                       අම්මාවරුනේ                                      යසඉසුරු

1983    -                       සතර පෙරනිමිති                                  

1984    -                       වැස්ස වැටී මිදුලේ                               සිවුරඟසේනා

1987    -                       පූජා වේවා                                        පූජා

වෙනත් සම්මාන

1972    -                       ජනප්‍රියතම ගායිකාව ලෙස දීපශිකා සම්මානය              

1982    -                       “අම්මාවරුණේ“ ගීතය වෙනුවෙන් ජර්ජ සම්මානය

1990    -                    “සක්වල එතෙරට ඇසෙනා“ ගීතය (ගෙදර බුදුන් අම්මා චිත්‍රපටය)  වෙනුවෙන් ස්වර්ණසංඛ සම්මානය

1995    -                       හොඳම ගුවන් විදුලි ගායිකා සම්මානය

1997    -                       ජනප්‍රියතම ගායිකාව    

1984    -                       හොඳම ගායිකාව ලෙස ස්වර්ණසංඛ සම්මානය

1986    -                       යුක්තප්‍රණාම සම්මානය (නීති විද්‍යාලය)

1990    -                       නිර්මලරේඛා කලා කේන්ද්‍රය විසින් පිරිනමන ලද සම්මානය

1995    -                       යුක්තිප්‍රණාම සම්මානය (නීති විද්‍යාලය)