Alamanda Shakaya ඇලමන්ඩා ශාකය

 

දිගු කාලයක සිට ලංකාවේ ප‍්‍රචලිතව පවත්නා තවත් මල් ගසකි “ඇලමන්ඩා” (Alamanda). වැලක ආකාරයට දිවයන එහෙත් තමන්ට අවශ්‍ය පරිදි කප්පාදු කිරීමෙන් ගසක් ලෙසටද සැකසිය හැකි මෙම මල් ගස ගෙමිදුලක සිටුවා කප්පාදු කිරීමෙන් අලංකාර පඳුරක් බවට පත්කර ගත හැකිය. විශේෂයෙන්ම ගෙමිදුලේ සැකසූ ආරුක්කුවකට යැවීමට ඉතා සුදුසු මේ ඇලමන්ඩා ශාකය මලින් පිරුණු කල දකින දසුන සැබැවින්ම සුන්දරය.වර්ග කිහිපයකින් යුක්ත වූ මෙම ශාකයේ පත‍්‍රවල මෙන්ම පුෂ්පයන්ගේද සුළු සුළු වෙනස්කම් දක්නට ලැබේ. මෙහි පත‍්‍ර දීප්තිමත් කොළ පැහැයක් ගන්නා අතර එකවර සමාන පත‍්‍ර හතර බැගින් හට ගැනීම විශේෂත්වයකි. එමෙන්ම ශාක කඳෙහිද, පත‍්‍ර වල යටි පැත්තෙහිද බූවක් සහිතය. ඇලමන්ඩා ශාකයේ පත‍්‍ර විශාල වන තරමට පුෂ්පයන්ද විශාල වේ. නමුදු කුඩා පත‍්‍ර සහිත ශාකවල පිපෙන මල්ද බෙහෙවින් කුඩාය. සිහින් දිගැටි පත‍්‍ර වැඩි වශයෙන් දක්නට ලැබුණද ඇතැම් ශාකවල තරමක විශාල වූ පළල් පත‍්‍ර දැකිය හැකිය. එමෙන්ම සිදුරු සහිත කඳක් ඇති මෙම ගසෙහි කිරි සහිත බවක් පෙනේ. තද කහ, ළා දම්, තද දම්, ලා කහ ආදී වර්ණ කිහිපයකින්ම යුක්ත මල් හටගන්නා මෙහි විවිධ ප‍්‍රමාණයන්ගෙන්ද මල් දැකිය හැකිවේ. සාමාන්‍යයෙන් තනි පෙති පහකින් ඇලමන්ඩා මලක් හටගත්තද මෙහි ද්විත්ව පෙති සහිත ප‍්‍රභේද ද දක්නට ලැබේ. තද සූර්යලෝකය පි‍්‍රය කරන මෙම ශාකය සාමාන්‍ය සූර්යාලෝකය ඇති ස්ථානවලද වගා කළ හැකිය.  නමුදු මල්වල නියමාකාර පැහැය ලැබීමටත්, මල් විශාල ප‍්‍රමාණයක් හට ගැනීමටත්, මලෙහි සැබෑ අලංකාරය දැකීමටත් එය තද සූර්යාලෝකය යටතේ වැඩීම අවශ්‍යය.මෙම ඇලමන්ඩා ශාකය අතු කැබැලි මාර්ගයෙන් ව්‍යාප්ත කරගත හැකි වුවත් ඇතැම් ප‍්‍රභේද බෝ කර ගැනීම තරමක් අසීරුය. එබැවින් වැලි සහ කොහුබත් මිශ‍්‍ර කොට පොලිතීන් බෑගයකට පුරවා එහි ඇලමන්ඩා අතු කැබැලි රෝපණය කරන්න. මෙය පෙ‍්‍රාපගේටරයක් තුළ තැබීමෙන් එකවර පැළ රාශියක් ලබාගැනීමේ හැකියාවක් ඇත. මේ ආකාරයට පොලිතින් බෑගයේ සිටවූ ඇලමන්ඩා අතු කැබැලි සති 3 ක් පමණ ගතවන විට මුල් ඇද තිබෙනු ඔබට දක්නට ලැබේ. ඉන්පසුව සාමාන්‍ය වගා මිශ‍්‍රණයකට මෙම පැළ මාරු කළ යුතුය. ඒ සඳහා කොම්පෝස්ට් කොටස් 1 කට, වැලි කොටස් 1 ක් හා කොහුබත් කොටස් 1 ක් මිශ‍්‍ර කර සාදාගත් වගා මිශ‍්‍රණය සුදුසු වේ.මෙහිදී ඇලමන්ඩා පැළ වර්ධනය වන සමයේදී නයිට‍්‍රජන් වැඩි පොහොරක් භාවිතා කළයුතු අතර, පැළ වැඩුණු පසු 20 : 20 : 20 සමතුලිත පොහොරක් යොදන්න. මල් හටගන්නා සමයේදී පොටෑසියම් වැඩි පොහොරක් භාවිතා කිරීම තුළින් වඩාත් අලංකාර මල් විශාල ප‍්‍රමාණයක් ලබා ගත හැකිය.දිලීර රෝග සහ කෘමි හානිය තුළින් ඇලමන්ඩා ශාකය විනාශ විය හැකි අතර විශේෂයෙන්ම පිටි මකුණු උවදුරට භාජනය වීමේ හැකියාව වැඩිය. එවන් අවස්ථාවක ඊට අදාළ කෘමි නාශකයක් භාවිතා කිරීමෙන් ඔබේ සුන්දර මල් ගසට සිදුවන හානිය අවම කරගත හැකිය.