Baby Roosa බේබි රෝස

 

දසන් දක්වා සිනාවෙන පොඩිත්තකු බඳු සිරියාවන්තව විකසිත වන බේබි රෝස කැකුළියක් ගෙවත්තකට සැබෑම චමත්කාරය දනවන්නක්. නෙක විසිතුරු මල් කුමරියන් අතර ඉහළින්ම වැජඹෙන මේ මල් කොමළිය අපේ සිත් සතන් පහන් සිතිවිලිවලින් හැඟුම්බර කරවන තරම්ම මනබන්ධනීයයි. මේ සුන්දරත්වය නියමාකාරයෙන් අත්විදගන්නට නම් ඔබේ ගෙවත්ත බේබි රෝස වලින් හැඩවැඩ කරගන්නම ඕනෑ. බේබි රෝස ලොකු රෝසවලට වඩා තරමක් වෙනස් ශාකයක්. කුඩා මල් හට ගැනීම, පත‍්‍ර ඉතා කුඩා වීම සහ ශාකය පුංචි පඳුරක් ලෙස වැඩීමත් මේ වෙනස්කම් අතරේ විශේෂයි. සුදු, රතු, කහ, දම්, තැඹිලි රෝස ආදී වර්ණ රැසකින් බේබි රෝස මල් දක්නට හැකියි. අඩු ඉඩකඩකින් වැඩිම සුන්දරත්වයකින් ඔබේ ගෙවත්ත සරසන්නට හැකිවිමත් බේබි රෝස මලෙහි තවත් විශේෂත්වයක්. බේබි රෝස පඳුරක් හදාවඩා ගැනීමෙන් ගෙවත්තකට ලැබෙන සිරියාව නම් කියලා නිම කරන්න බැරි තරම්. ඔබටත් බේබි රෝස පැළයක් හදාවඩා ගැනීම ලොකු රෝස පැළයක් පැළකර ගැනීම තරම්ම අසීරු නැහැ. ලොකු රෝස ප‍්‍රචාරණය වඩාත් සාර්ථක වන්නේ බද්ධ ක‍්‍රමයෙන් වුවත් බේබි රෝස අතු මඟින් පහසුවෙන්ම බෝකර ගත හැකියි. මේ සඳහා මල් පිපී පර වූ අතු යොදා ගන්න පුළුවන්. මෙහිදී ඔබ කඩතොලු නොවන ලෙස බේබි රෝස අත්තක් මව් ශාකයෙන් කපා වෙන් කිරීමට වගබලා ගත යුතුයි. මුල් ඇදීම සඳහා අත්ත සිටුවීමට කළු මැටි පසක් පුරවා පිළියෙළ කරගත් කුඩා පොලිතින් බෑගයක් අවශ්‍ය වේ. මෙහි අත්ත සිටුවීමට පෙර බේබි රෝස අත්තේ කැපුමේ සිට අඟලක් පමණ ඉහළට අතු පැළකිරීමට ආලේප කරන හෝමෝනය තවරන්න. එමගින් පහසුවෙන්ම සාර්ථක පැළයක් ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවි. අත්ත සිට වූ පොලිතීන් බෑගය නොසෙල්වෙන පරිදි සෙවණ සහිත ස්ථානයක තබන්න. සෑම පැළයකටම වාගේ බේබි රෝස පැළයටත් ජලය එකතුවීම අහිතකර නිසා පස් පිර වූ පොලිතීන් බෑගයේ ජලය බැස්මට සිදුරක් තැබීමටත් අමතක කරන්න එපා. මේ අත්ත මුල් අල්ලා දළු දමා වැඩෙන විට පෝච්චියක හෝ පොළොවේ ස්ථිර ලෙස සිටුවිය හැකියි. මෙහිදී සාමාන්‍ය රෝස පැළයකට මෙන් පහත කොටස් මිශ‍්‍රකර පස සකසා ගන්න. කොම්පෝස්ට් කොටස් 2 වැලි කොටස් 1 පොළොව මතුපිට රතු පස් කොටස් 2 කොහුබත් කොටස් 1 වියැළි ගොම කොටස් 1 බේබි රෝස පැළය පත‍්‍ර කරටි හොඳීන් වැඩුණ සාරවත් පඳුරක් බවට පත්වීමට දෙසතියකට වරක් වෙළෙඳ පොළෙන් මිල දී ගන්නා මල් පොහොරක් යොදන්න. මීට අමතරව ශාකයට දිනපතා ජලය සැපයීමටත් අමතක කරන්න එපා. බේබි රෝස ගසටත් හොඳීන් මල් හට ගැනීමට හොඳ සූර්යයා ලෝකයක් අවශ්‍යයයි. ඔබේ රැකවරණය ලබමින් තුන් මාසයක් පමණ ගතවන විට ශාකයේ පුංචි පුංචි මල් ගොඩක් සහිත බේබි රෝස පොකුරක් හට ගනීවි. රෝස මලක් වැඩියෙන් සුන්දර වන්නේත් එහි වැඩිපුර මල් හටගන්නේත් ඔබේ සාත්තුව අනුවයි. වරක් මල්හටගත් පසු ඊළඟට වාරය සඳහා නිවැරැදි කප්පාදුවකින් හා හොඳ සාත්තුවකින් පඳුර සුදානම් කරන්න. බේබි රෝස සිහින් අතු ඉති ඇති ශාකයක් නිසා කප්පාදු කිරීමට පුංචි කතුරක් භාවිතා කරන්න. කප්පාදුවෙන් පසු ගසවටා පස බුරුල් කර N 3 K  පොහොරක් යොදන්න. සති දෙකක් පමණ ඉකුත් වනවිට යළිත් ඔබේ බේබි රෝස පඳුර නැවුම් මල් පොකුරුවලින් බරවේවි.