Gammiris Wagawa ගම්මිරිස් වගාව

 

කුළුබඩු වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා ඖෂධීය ගුණයන්ගෙන් යුත් ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය. නිසිකළට වේලාවට වගාකරගත හොත් ගම්මිරිස් වගාව ඉතා පහසුය. ගෙවත්තක ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නේ කෙසේදැයි ඇතැම් ගෘහණියන් තුළ අවබෝධයක් නොවේ. මේ ගෙවී යන මාසය ගම්මිරිස් පඳුරු කිහිපයක් බෝ කර ගැනීමට හොදම කාලයයි. හොඳ සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉතිකීපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග්වල සිටූවා සෙවනේ තබා උදේ සවස වතුර දමන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඉඩ පාඩු ඇති තැන්වල සිටුවා ගන්නට ඔබට පුළුවන්.

 

ගම්මිරිස් පඳුරු බොකර ගැනීමට සිටුවාගත යුතු ඉති වල විශේෂත්වයක් තිබෙනවාද? බිම දිගේ ඇදෙන වැල් මේ සඳහා තෝරා ගන්න එපා. සෘජුව වැඩෙන වැල් වලින් ඉති කපා ගන්න. මෝරාගිය දඬුවෙනුවට ළපටි ඉති තෝරා කපා ගන්න. ඉති සිටුවා ගැනීමේදී තැලිම් පොඩිවීම් නොවන ආකාරයෙන් ප‍්‍රවේශමෙන් සිටුවා ගන්නට වග බලාගන්න. ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද?  මේ සඳහා අඩි  2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක‍්‍රමය වූවද වැසි සහිත මෙවන් වකවානුවක බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වූවද හොඳ ප‍්‍රතිඵල ඔබට ලබාගත හැකියි. මේවා කුඩා කාලයේදී අතු වියළෙන්නට බිදෙන්නට නොදී හොඳින් ආරක්‍ෂා කරගත යුතුය. ගෙවත්තේ සිටුවීමට සුදුසු ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් වූව ද මිල දී ගන්නට පුළුවන. ඇතැම් විට ගම්මිරිස් වගා කිරීම පිළිබඳ යමකුගෙන් ඔබ උපදෙස් විමසීමේදී මෙය ඉතා අපහසු කරදරකාරී කාරියක් ලෙසින් කරුණු දැක්වීමට හැකියි. නිසි කළට වලාවට වගාකිරීමෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නෑ. මේ නිසාම ගෙවත්තේ ගම්මිරිස් පැළ කීපයක් හෝ සිටුවා ගැනීම හරිම ලෙහෙසියි. පහසුයි.  ගම්මිරිස් පළදාව නෙළා ගැනීම මෙන්ම වියළා ගැනීම ද ඒතරම් අපහසු කාරියක් නොවේ. නිසිලෙස කප්පාදු කොට ගම්මිරිස් පඳුරු වල පළදාව නෙලා ගැනීම වඩාත් පහසුයි. ගසක් දිගේ හෝ කණුවක් ආධාරයක් කොටගත් ගම්මිරිස් වැළක පළදාව නෙලාගන්නට ඉනිමගක ආධාරය ලබාගත යුතු වෙයි. වැළෙන් නෙලාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට ඉනේ බැදගත් කුඩා මල්ලකට එකතු කළ යුතුයි. එවිට ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගත හැකියි. නෙලාගත් ගම්මිරිස් අස්වැන්න එකවරම තද අමුවේ වේළීම කළයුතු නැත. ඒවා දින කිහිපයක් සෙවණ සහිත මුල්ලක තබා පසුව උතුරන වතුරේ විනාඩි කිපයක් පොඟවා ගෙන අව්වේ වියළාගත යුතුයි. හොඳින් වියළාගත් ගම්මිරිස් ඇට ටික කාලයක් යනතුරුම භාජනයක දමා භාජනයේ කට නොවසා තබන්න.වියළි ගම් මිරිස් ඇට පුස්කෑමෙන් වළක්වා ගන්නට එමගින් හැකි වේ. ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු 10 ක් වත් වවාගන්නට හැකියාවක් තිබේ නම් ගෙදර ප‍්‍රයෝජනයට ගෙන යම් ප‍්‍රමාණයක් ගම්මිරිස් අලෙවි කර ගන්නට ද අවස්වැන්න ලබාගන්නට පුළුවන. ගම්මිරිස් කවදත් හොඳ වෙළෙඳ පොළක් තිබෙන කුළුබඩු විශේෂයකි. වියළි ගම්මිරිස් ඇට කිලෝවක් රුපියල් 300 පමණ වන අතර ගම්මිරිස් කැබැලි වශයෙන් හා කුඩු වශයෙන් ද කොටා පැකට් කර විකිණීමට හැකිය. බඩේ කැක්කුම හා සෙම අමාරු සඳහා ඉක්මන් කි‍්‍රයාකාරි ඖෂධයක් වන ගම්මිරිස් එදිනෙදා සකස් කරනු ලබන කෑම බීම පිණිස විවිධාකාරයෙන් යොදාගන්නා රසකාරකයකි. ප‍්‍රධාන වශයෙන්ම ගම්මිරිස් කෑම සඳහා යොදා ගන්නා ක‍්‍රම හතරකි. 1. ගම්මිරිස් ඇට පිටින් යෙදීම 2. ගලේ අඹරා යෙදීම 3. තැලූ ගම්මිරිස් ඇට කැබලි යෙදීම 4. ගම්මිරිස් කුඩු යෙදීම මේ අවස්ථා හතරේදී ගම්මිරිස් වලින් මතුවන රසය විවිධාකාර වන නිසා රසකාරකයක් වශයෙන් මේවා ලොකු වටිනාකමක් පෙන්නුම් කරයි.