Kesel Wagawa කෙසෙල් වගාව

 

නිසියාකාරව කෙසෙල් වගාවක් කරන්නේ නම් අපට ලබා ගත හැකි වාසි බොහොමයක් වන අතර, අපගෙන් සිදු වන අපතේ යෑම් අවම කර ගත හැක. ඒ අනුව කෙසෙල් වගාවක් සිදු කිරීමේදී ඒ පිළිබඳව වැදගත් වන තොරතුරු කිහිපයක් පහත පරිදි වේ.දේශගුණික අවශ්‍යතා.වඩා සාර්ථක වූ කෙසෙල් වගාවක් සිදු කළ හැක්කේ මුහුදු මට්ටමෙන් මීටර් 1500 ක් දක්වා වූ ප්‍රදේශවල වන අතර, මේ සඳහා වර්ෂය පුරා පැතිර පවත්නා මි.මී.1250-1900 පමණ වර්ෂාපතනයක් තිබීම වඩාත් යෝග්‍ය වේ.පස.ජල වහනය වඩා හොඳින් සිදුවන මීටර් 1 ½ පමණ ගැඹුරු පසක් තිබිය යුතු අතර, ජල වහනය දුර්වලව පවතී නම් වඩාත් යෝග්‍ය වන්නේ එවැනි ස්ථානවල ගැඹුරු කානු යෙදීමයි.රෝපණ ද්‍රව්‍ය.දුර්වල වර්ධනයක් සහිත දිය මොරෙයියන් සිටුවීමට සුදුසු නොවන අතර, වඩාත් සුදුසු වන්නේ කඩුපත් මොරෙයියන් සහ ශක්තිමත් කඳක් සහ හොඳින් මහත් වූ අලයක් සහිත පළල් පත්‍ර මොරෙයියන්ය.පැල සකසා ගැනීම.සිටුවීමට පෙර තෝරාගත් පැලවල අල හොඳින් පිරිසිදු කළ යුතු අතර, මේ සඳහා අලයෙහි ඇති දුර්වර්ණ වූ හා ගුල්ලාගෙන් හානි සිදු වූ කොටස් ඉවත් කර ගත යුතුය.වලවල් සකසා ගැනීම.නිසි පරතරයට අනුව සෙ.මී.60x60x60 ප්‍රමාණයේ වලවල් සකසා ගත යුතු අතර, පැල සිටුවීමට සති දෙකකට පමණ පෙර හොඳින් දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පස් යොදා මෙම වලවල් පුරවා ගත යුතුය. තෙත් කලාපයේදී නම් මෙම අවස්ථාවේදී වලකට ඩොලමයිට් ග්‍රෑම් 500 බැගින් යෙදිය යුතුය. එසේම වැඩි ඝනත්වයක් යටතේ වාර්ෂික ‍හෝ ද්විවාර්ෂික වගාවක් ලෙස නඩත්තු කරන්නේ නම් උදළු තල 1 ½ (සෙ.මී.45-50) පමණ ගැඹුර වලක් කැපීම ප්‍රමාණවත් වේ.පැල සිටුවීම.පැලයේ අලය කොටස පමණක් පසට යට වන සේ, සකසා ගත් වලවල්වල මැදින් පැල සිටුවිය යුතුය. පැලය සිටුවීමෙන් පසු වලෙහි මට්ටම අවට පොළව මට්ටමට සමාන විය යුතුය. පැල සිටුවන අවස්ථාවේදී විහිදී ඇති පත්‍ර ඇත්නම් අලයේ සිට සෙ.මී. 60 පමණ ඉහළින් කඳ කපා සිටුවිය යුතුය. එක සමාන මොරෙයියන් වගාවේ එකම කොටසක සිටුවිය යුතු අතර, ඒකාකාරී වර්ධනයක් සහිත වගාවක් ඇති කර ගැනීමට නම්, සිටුවන ලද පැලවල වැඩීම ආරම්භවීමත් සමග පොළව මට්ටමට ආසන්නයෙන් කඳ කපා දමන්න.ජල සම්පාදනය.කැන්වල විශාලත්වය හා ගෙඩිවල ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් වියළි කාලවලදී වගාවට ජලය සැපයිය යුතු අතර, මේ සඳහා මතුපිට ජල සම්පාදන ක්‍රම හෝ බිංදු ජල සම්පාදනය, විසුරුම් ජල සම්පාදනය වැනි ජල සම්පාදන ක්‍රම භාවිතා කළ හැක. විසුරුම් ජල සම්පාදන ක්‍රම භාවිතා කරන්නේ නම් එය පත්‍ර වියනට පහලින් ජලය විසිරීමට සැලැස්විය යුතුය. පත්‍ර මතුපිටට ජලය විසිරීමට සැලැස් වුවහොත් කොළ පුල්ලි රෝගය ඇතිවීමට ඉඩ ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ඇසුරිනි