Krishi Upades කෘෂි උපදෙස්

 

කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අදාළව විවිධ පර්යේෂණ නිරන්තරව සිදුකරනු ලැබුවද ඒවාහි ප‍්‍රතිඵල මෙරට ගොවීන් අතරට නොයන බව කාලයක් තිස්සේ කතා බහට ලක්වන කරුණකි.රෝගවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා දෙන විවිධ ප‍්‍රභේදයන්ට අයත් බෝග වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශ මගින් නිරන්තරව හඳුන්වා දෙනු ලැබුවද දෙපාර්තමේන්තුව මගින් නිසි අයුරින් එම තාක්ෂණය ගොවීන් අතරට ගෙන නොයෑමත් ගොවීන් එම දැනුම ලබාගැනීමට හා උපදෙස් පිළිපැදීමට උනන්දු නොවීමත් හේතුවෙන් අදාළ පර්යේෂණයන්හි ප‍්‍රතිඵල හරිහැටි බුක්ති විඳින්නට මෙරට ගොවිජනතාවට අවකාශ සැලසෙන්නේ කලාතුරකිනි.

 

මේ හේතුවෙන් මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නොයෙක් පරිසර තත්ත්වයන්ට ගැළැපෙන අයුරින් වැඩි අස්වැන්නක් ලැබෙන සේ ප‍්‍රවාහනයට සහ අළෙවියට ඇති පහසුව වැනි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමුකර නිපදවනු ලැබ ඇති විවිධ ප‍්‍රභේදයන්ට අයත් බීජ ගොවීන් අතරට නොගොස් තවත් එක් පර්යේෂණ ප‍්‍රතිඵලයකට පමණක් සීමාවී තිබේ.මෙම තත්ත්වය වෙනසකට ලක්කරමින් ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, මාතලේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව රීප් ආයතනයේද සහාය ඇතිව මාතලේ පලාපත්වෙල ඉඹුලන් දණ්ඩ ප‍්‍රදේශයේ ගොවි ජනතාව වෙත වැඩිදියුණු කළ තක්කාලි බීජ සහ නවීන තාක්ෂණය හඳුන්වා දීමට සමත්වී ඇත.ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරිනි රංජනී පීරිස් මහත්මිය විසින් හඳුන්වාදෙන ලද රජිත නැමැති නව තක්කාලි ප‍්‍රභේදය අක්කර 25 ක භමි ප‍්‍රදේශයක වගාකර පෙරට වඩා වැඩි අස්වැන්නක් මෙවර ලබා ගැනීමට එම ප‍්‍රදේශයේ ගොවීහු සමත්ව සිටිති.

 

මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ රජිත තක්කාලි කිලෝවක තොග මිළ රුපියල් 20 ත් 25 ත් අතර පවතින බවත් එය තමන්ට ඉතා හොඳ මිලක් බවත් ඉඹුලන් දණ්ඩ යාය ගොවීහු පවසති.මේ සම්බන්ධව අදහස් දක්වන ඩී. එම්. මුතුබණ්ඩා ගොවි මහතා - මෙයට පෙර අපි මේ වගාවන් කෙළේ අපේ පාරම්පරික ගොවි දැනුමට අනුවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපදින්න අපේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මීට කලින් පාවිච්චි කෙළේ පිටරටින් ගෙනත් අළෙවිය සඳහා කඩවල තිබෙන තක්කාලි බීජයි. ඒවා රෝගවලට ඔරොත්තු දෙනවා අඩුයි. බර අඩුනිසා ඒවාට හොඳ මිලක් නොලැබෙන අතර ඒවා වැස්සට ඔරොත්තු දෙන්නෙත් නැහැ.මේ පාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිත් අපිව හොඳින් දැනුවත් කළා. වැඩි දියුණු කළ අලුත් තක්කාලි ප‍්‍රභේදය වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලැබෙන බව ඔවුන් අපට පහදා දුන්නා. බීජ පැළ කිරීමේ සිට අස්වැන්න නෙළන තෙක්ම ඔවුන් දුන් උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අපට මෙවර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකිවුණා.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් තක්කාලි ප‍්‍රභේදයක බීජ ආදර්ශ තවානක වගාකළ අතර එයින්ද ඉතා ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. එම තක්කාලි කිලෝවක තොගමිල රුපියල් 30 ත් 35 ත් අතර වෙනවා.මෙවර අක්කරයක මා රජිත තක්කාලි වගා කළා. එම තක්කාලි වලින් වැඩි අස්වැන්නක් ලැබෙන අතරම රෝගවලටද ඔරොත්තු දෙනවා. ගෙඩිය විශාල නිසා වැඩි බරකින්ද යුක්ත අතර පොත්ත ගනකම නිසා ප‍්‍රවාහනයේදී වන හානිද ඉතා අඩුයි.කේ. ජී. රංජිත් ගොවි මහතා - මම පසුගිය වතාවේ වගා කෙළේ ඊ245 නැමැති තක්කාලි ප‍්‍රභේදයයි. මෙවර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව තක්කාලි ප‍්‍රභේදයක් හඳුන්වා දුන් අතර අනෙක් ගොවි මහත්වරු මුලින් එම තක්කාලි බීජ වගාකළා. මම බීජ තවාන් කෙළේ තරමක් පහු වෙලයි. මේ නිසා අනෙක් අයට වඩා මගේ වගාවේ අස්වැන්න ටිකක් අඩුයි. මේ අලුත් තක්කාලි වර්ගයේ අස්වැන්න නෙළන්න පටන් ගෙන මාසයක් යනතුරු එක ලෙස ගෙඩි හටගන්නා බව කෘෂිකර්ම නිලධාරීන් කිව්වා. අනෙක් ගොවීන්ගේ වගා දෙස බලන විට එය පැහැදිලි වෙන අතර මෙවර මටත් හොඳ අස්වැන්නක් ලබාගත හැකි වේවි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන පහත උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්නේ නම් අඩු වියදමකින් සාර්ථක වගාවක් කැර හොඳ ආදායමක් ගොවි මහත්වරුනට ලබාගත හැකි බව පර්යේෂණ නිලධාරිනී රංජනී පීරිස් මහත්මිය පවසන අතර ඒවා පහත පරිදි වෙයි.(1) නිර්දේශිත ප‍්‍රභේද භාවිතය(2) ගුණාත්මක බීජ භාවිතය(3) මනා තවාන් පාලනය(4) ශෂ්‍ය විද්‍යාත්මකව අනුමත කරන ක‍්‍රම යෙදවීම (උදා - නියමිත පරතරය, පොහොර(5) ලෙඩ රෝග හඳුනාගෙන ඒවාට නිර්දේශ කරන ලද කෘමි නාශක / දිලීර නාශක යෙදීම(6) දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප‍්‍රමාණය යෙදීම(7) අස්වැන්න නියම කලට නෙළීම. (වර්ණය වෙනස් වන විට)(8) ක‍්‍රමවත් ලෙස ඇසිරීමමේ පිළිබඳ අදහස් දක්වන ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ජිනාදරී සොයිසා මහත්මිය දෙපාර්තමේන්තුවේ උපදෙස් නිවැරදිව පිළිපැදීමෙන් ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබිය හැකි බව ඉඹුල් දණ්ඩ යාය තක්කාලි වගා බිමෙන් පැහැදිලි වන බව පැවසුවාය.පසුගිය වසර කිහිපය තිස්සේම ගොවි මහත්වරු වගා කළේ 245 නැමැති තක්කාලි ප‍්‍රභේදය බවත් ඔවුන් පුරුදු බීජ වර්ගය අතහැර අලුත් වර්ගයකට යෑමට තරමක බියක් දක්වන බවත් පැවසූ එම මහත්මිය නව තත්ත්වය තුළ එය මඟහැරී යනු ඇති බවද කීවාය.