Mudu Pulli Wairas Roogaya මුදු පුල්ලි වෛරස් රෝගය

 

මිහිරි පලතුරක් ඔබේ ගෙවත්තේ වගා කිරීමට ඔබ හැමවිටම උත්සහ දරනවා විය හැකිය. නමුත් ඔබේ උත්සහය සාර්ථක වන්නේ එම පලතුරුවලට වැළදෙන රෝග පිළිබඳ හඳුනාගෙන සිටියොත් පමණි. හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් ශාකයක නිරෝගී බව ඉතාමත් වැදගත් වේ.අනෙක් පලතුරු මෙන්ම පෝෂණ ගුණයෙන් ඉහළ පැපොල් ගෘහාශී‍්‍රතව බහුලව වවයි. පැපොල් වගා කිරීමේදී ඊට වැළදෙන රෝග පිළිබඳවද ඔබ දැනුවත්ව සිටීම අවශ්‍ය වේ. මූලිකවම කළ යුතු වන්නේ රෝගය හඳුනා ගැනීමය. එතුළින් රෝගය පැතිරී යාම වැළක්විය හැකිය. වර්තමානය වනවිට පැපොල් වගාවට වැළදෙන රෝග අතරින් මුදු පුල්ලි වෛරස් රෝගය ප‍්‍රධාන වශයෙන් දැකිය හැකිය.මුදු පුල්ලි වෛරස් රෝගය සුවකළ නොහැකිය. මෙම රෝගය කුඩා ගස්වලට වැළදුන විට අස්වැන්නක් නොලැබෙන තත්වයට පත්වන අතර මේරූ ගස්වලට වැළඳුන විට ගසේ වර්ධනය බාලවේ.

 

රෝග ලක්‍ෂණපළමුව රෝග ලක්‍ෂණය දැකිය හැකිවන්නේ ලපටි දළුවලය. දළු මත තෙල් පැල්ලම් වැනි කහ පැහැති ලප ඇති වේ. කල්යත්ම මෙම පැල්ලම් ඉතාමත් පැහැදිලිව පත‍්‍ර මත සටහන් වී තිබීම දක්නට ලැබේ. එයට අමතරව කහ පැහැති ඉරි රටා මුදු පුල්ලිද දැක ගත හැකිය. මෙය විචිත‍්‍ර ලක්‍ෂණයක් ලෙස හඳුන්වයි. රෝගය ඉතා දරුණු වූ අවස්ථාවේ පත‍්‍ර නාරටි වලට සීමා වී පටි ආකාරයෙන් දිස් වේ.මේ හා සමාන ලක්‍ෂණයක් වර්ෂාව අඩු කාලයේ ඇතිවන මයිටාවන්ගේ හානිය දරුණු අවස්ථාවලදිත් ඇති වන නිසා වෛරස් රෝග ලක්‍ෂණත් මයිටාවන්ගෙන් ඇතිවන හානියත් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට තරමක් අපහසුවේ. දරුණු මයිටා හානියකදී පටි වැනි ස්වරූපයක් ගන්නා පැපොල් පත‍්‍ර ඉතා ඝනකම්ය. තවද වර්ෂාවත් සමඟ මෙම හානිය අලුතින් එන පත‍්‍රවල මඟ හැරී යන නිසා මෙම තත්වය පැහැදිලිවම වෛරස් රෝගයෙන් වෙන්කර හඳුනා ගත හැකිය. පැපොල් ගෙඩිවල මුද්දක හැඩැති ලප ඇති වන නිසා මෙය මුදු පුල්ලි වෛරසය ලෙස හඳුන්වයි.

 

රෝගය පැතිරීමප‍්‍රධාන ලෙස කූඩිත්තන් මාර්ගයෙන් රෝගය බෝවේ. පැපොල් වගාවේ කූඩිත්තන් දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. නමුත් වෙනත් වගාවල සහ වල්පැළෑටිවල සිටින කූඩිත්තන් හට නිරෝගී පැපොල් ගසකට රෝගය බෝ කිරීමට එතරම් වේලාවක් ගත නොවේ. කිරි ලබා ගන්නා පැපොල් වගාව වල ඒ සඳහා භාවිතාවන පිහියා මගින්ද රෝගය බෝවේ. බීජ මගින්ද යම්තාක් දුරට බෝගය වෙත රෝගය පැතිරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ.

 

රෝග පාලනයරෝගයට සම්පූර්ණයෙන්ම ඔරොත්තු දෙන පැපොල් වර්ග නොමැති අතර කෘමිනාශක ඉසීමෙන් රෝගය පාලනය කළ නොහැක. වගාවේ රෝගී ගස් තිබේ නම් නිරෝගී ගස්වලට ද රෝගය පහසුවෙන් බෝවීමේ හැකියාව තිබේ. මේ නිසා රෝගය අඳුනා ගැනීමෙන් පසු ගස් සම්පූර්ණයෙන්ම ගලවා දැමීම ඉතාමත් යෝග්‍ය වේ. ගස කපා දමා යළිදු අතුරිකිලි ලියලන තත්ත්වයක් ඇති වුවත් අලුතින් ලියලන අතුරිකිලි වලද රෝග කාරකය තිබීමට හැකි වේ.කිසි විටෙක රෝගී වගාවක් අසල නව වගාවක් ආරම්භ නොකළ යුතුය. නව වගාවක් ඇරඹීමට පෙර පැරණි ගස් සහමුලින්ම විනාශ කළ යුතුය. අවට වල් පැළ විනාශ කර වගාබිම් පිරිසිදුව තබා ගැනීමේ වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේ.

 

කාලගුණික තත්වයවියළි කාලගුණික තත්ත්වයක් පවතින විට රෝගය පැතිරීයාමේ සීඝ‍්‍රතාවය අඩුය. වර්ෂාව සහ මද සුළං සමඟ රෝගය පැතිරීයාමේ සීඝ‍්‍රතාවය ඉතාමත් වැඩිය. මේ නිසා වර්ෂා සමයට පෙර රෝගී ගස් ගලවා මුලුමනින් විනාශ කිරීමෙන් නිරෝගී ගස්වලින් ඵලදායි අස්වැන්නක් ලබා ගත හැකි වේ.