Naminan නමිනම්

 

හරිත වර්ණයෙන් යුත් පොළොව දෙසට නැමුණු යුගල පත‍්‍ර වලින් ගැවසුණු දර්ශනීය නමිනම් ප‍්‍රියතම පලතුරු ශාකයක් ලෙසින් හැඳින්විය හැක. මලයාසියාව මව්බිම කර ගනිමින් ලෙගුමයිනෝසියේ (LEGUMINOSAE)  ශාක කුලයට අයත් නමිනම් ගසේ උද්භිද විද්‍යා නාමය සයිනොටෙට‍්‍රා නෝලිප් ලෝරා නම් වේ.තෙත් කලාපයේ සාරවත්ව වැඩෙන නමිනම් ගස මුහුදු මට්ටමේ සිට මීටර් 370 ක් පමණ උස් ප‍්‍රදේශවල වැඩෙන අතර, නියඟයට ඔරොත්තු දීමේ ශක්තියක් ඇත. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජාවා, මලයාසි ආදී නිවර්තන කලාපීය රටවල වැඩෙන අතර මීටර් 5 - 7 පමණ වැඩේ.මලයාසි භාෂාවෙන් මෙම ශාකය හඳුන්වනු ලබන්නේ නමි නන් වශයෙනි. එහෙත් අප රටේ බොහෝ දෙනෙකු නමි නම් යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර, බීජය දුඹුරු පාටින් යුක්ත වේ. සෙ. මී. 3 ක් දිගු වූ බීජය මි. මී. 5 ක් පමණ ඝනකමින් යුක්ත වන අතර ප‍්‍රරෝහන කාල සීමාව සති දෙකක් පමණ ගත වේ. පැළ සිටවනවාට වඩා බීජය වගා බිම් තුළ කෙළින්ම සිටවීම තුළින් වැඩි වර්ධනයක් දැකිය හැකි වේ. සාරවත්ව වැඩුණු ගසක වර්ෂ පහක් ගතවීමෙන් මල් හටගෙන ඵලදාව හටගනී.නමිනම් ගසෙ මල් ලා රෝස පාටින් යුක්ත වන අතර, ගසේ මුල සිට මීටරයක පමණ උසට කඳේ මල් හට ගන්නා අතර, ඒ තුළින් ඵලදාව හට ගනියි. නමිනම් ගෙඩි මේරීමට මාස 03 ක් ගතවන අතර, කුඩා අවදියේ ගෙඩි කොළ පාටින් යුක්ත වන අතර ඉදුණු විට කහපාට වේ. ගෙඩිය සම්පූර්ණයෙන් රැලි සහිතය.නමිනම් ශාකයේ පොත්ත තද දුඹුරු පාටින් යුක්ත වන අතර එම සුඹුල ඉවත් කළ විට කොළ පාටින්ද යුක්ත වන අතර, ශාකයේ ලීය සවි ශක්තියෙන් යුක්ත වුවත් කිසිදු ප‍්‍රයෝජනයකට ගත නොහැක.නමිනම් කෑමට දුවලා පුතාල ඉතා ප‍්‍රිය කරන අතර අමුවෙන් කෑමේ දී ලුණු මිශ‍්‍ර කර කෑමට ගන්නා අතර අච්චාරු දැමීම කළ හැකිය. ඉන්දියානු ජනයා ඖෂධීය බෙහෙතක් වශයෙන් තෙල් නිෂ්පාදනය කර ගන්නා බව ඇෆ්. එච්. මැක්මිලන් මහතා සිය ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. අප හට පහත රට තෙත් කලාපයේ සැම නිවසකම පැතිර පවතින ශාකයක් ලෙස නමිනම් හැඳින්විය හැක.