Pol Idam Wala Kokowa පොල් ඉඩම්වල කොකෝවා 

 

කොකෝවා බහුවාර්ෂික බෝගයක් ලෙස පොල් ඉඩම්වල සාර්ථකව වගා කළ හැකි ය. කොකෝවා සඳහා අද වෙළෙඳපොළ හොඳ මිලක් පැවතීම නිසා පොල් වගාකරුවන් අතුරු බෝගයක් ලෙස කොකෝවා වගා කිරීමට උනන්දුවක් දක්වයි. පොල් පර්යේෂණ ආයතනය කර ඇති අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇත්තේ, පොල් ඉඩම්වල ක‍්‍රමාණුකූලව කොකෝවා වගා කිරීම නිසා පොල් පලදාව වැඩිවන බවයි. එයට හේතු වන්නේ, පොල් ඉඩම්වල පස සෝදායාම අඩුවීමත්, වියළි කොළ ආවරණය නිසා තෙතමනය සංරක්ෂණය වීමත්, පසට කොළ පොහොර එකතුවීම හා වල් පැලෑටි වර්ධනය අඩුවීමත් ය.කොළඹ, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල තෙත් සහ අතරමැදි තෙත් කලාපවල පිහිටි පොල් ඉඩම්වල කොකෝවා සාර්ථකව වගා කළ හැකි ය. හොඳින් ජලය බැසයන වැලි ලෝම පස් සහිත ඉඩම් වඩාත් සුදුසුය. තද වැලි හෝ මැටි සහිත ඉඩම් කොකෝවා වගාව සඳහා එතරම් සුදුසු නොවේ. පොල් වගාවේ වයස අවුරුදු 15-45 අතර ඉඩම් කොකෝවා වගාව සඳහා වඩාත් සුදුසු වේ.පොල් ඉඩම්වල වගා කිරීම සඳහා කොළ පාට ගෙඩි සහිත පොරෙස්ටාරෝ වර්ගය නිර්දේශ කෙරේ. ඒ අතරින් එන්. ඒ. 32 වර්ගය තෙතමනය හොඳින් පවතින සරු පස් සහිත ඉඩම් සඳහා වඩාත් සුදුසු ය. මිල්ලවාන ප‍්‍රභේදය නියඟයට හොඳින් ඔරොත්තු දෙන නිසා වියළි කාලගුණයක් පවතින ප‍්‍රදේශවල පොල් ඉඩම් සඳහා සුදුසු වේ. තෝරාගත් මවු ගස්වලින් ලබාගත් පැසුණු බීජ පොලිතින් මලුවල සිටුවීමෙන් බීජ පැළ ලබාගත හැකි ය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවාන්වලින් හෝ එම දෙපාර්තමේන්තු අනුුමත කළ තවාන්වලින් පොලිතින් උරවල පැළ කළ බීජ ලබා ගැනීමට පුළුවන. පත‍්‍ර 8 - 10 පමණ ඇති පැළ සිටුවීම සඳහා වඩා සුදුසු වේ.

 

පැළ සිටුවීම

කුඩා පොල් ඉඩම්වල පොල් පේළි දෙකක් අතර කොකෝවා පේළි දෙකක් සිටුවිය හැකි ය. පේළි දෙක අතර පරතරය අඩි 11 ක් වන අතර, පේළි තුළ පැළ දෙකක් අතර පරතරය අඩි 08 කි. මෙහිදී පැළ ති‍්‍රකෝණාකාර ක‍්‍රමයට සිටුවිය හැකිය. අක්කරයක පැළ 400 ක් පමණ සිටුවීමට පුළුවනි. විශාල පොල් වතුවල පොල් පේළි 2 ක් අතර එක් කොකෝවා පේළියක් සිටුවිය යුතුය. කෙකිවලින් පොල් කැඩීම සහ ප‍්‍රවාහනය මේ නිසා පහසු වේ. මේ ක‍්‍රමයේදී අක්කරයකට පැළ 210 ක් පමණ සිටුවිය හැකිය. පැළ සිටුවීම සඳහා තද පසක නම් අඩු  1.5*1.5*1.5 ප‍්‍රමාණයේ වලවල් හෝ වැලි ලොම් පසක නම් අඩි 1* 1 * 1 ප‍්‍රමාණයේ වලවල් යොදාගත යුතුවේ. වල පුරවන පසට ගොම පොහොර සහ දිරාගිය කොළරොඩු එක් කිරීම වඩා සුදුසුවේ. සිටුවීමේදී මුදුන් මුල නොකැඩෙන ආකාරයට පොලිතින් උරය ඉවත් කිරීමට වගබලාගත යුතුය. පැළ සිටුවීම අපි‍්‍රයෙල් මැයි යල මෝසමත් සමග සිදුකිරීම වඩා සාර්ථකය. පැළය වටා පොල් ලෙලිවලින් හෝ තණකොළවලින් අතුරුනුවක් යෙදීමෙන් පැළවල සාර්ථක වර්ධනයක් ලබාගත හැකිය.

 

පොහොර යෙදීම

ගොම පොහොර, කොම්පෝස්ට් හා රසායනික පොහොර යෙදීම පැළවල ඉක්මන් වර්ධනයටත්, වැඩි පලදාවක් ලබාදීමටත් උපකාරී වේ. නිර්දේශීත පොහොර මිශ‍්‍රණය වන්නේ, යුරියා බර අනුව කොටස් 04, රොක්පොස්පේට් බර අනුව කොටස් 05, මියුරියේට් ඔෆ් පොටෑෂ් බර අනුව කොටස් 03 හා කීසරයිට් කොටස් 01 සිටුවා පළමු වසර තුළදී මේ මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 60 පැළයකට මාස තුනකට වතාවක් පසේ තෙතමනය ඇති විට යෙදිය යුතුය. දෙවන වසරේදී පැළයකට ග‍්‍රෑම් 250 බැගින් මාස 06 කට වරක් සහ තුන්වන වසරේදී පැළයකට ග‍්‍රෑම් 350 බැගින් මාස 06 කට වතාවක් පසේ තෙතමනය ඇති විට පමණක් යෙදිය යුතුය.

 

කප්පාදු කිරීම

වැඩි ගෙඩි ප‍්‍රමාණයක් ලබාගත හැකි ආකාරයෙන් අඩි 05 ක් පමණ උස ප‍්‍රධාන කඳක් සහ සාර්ථක අතු ප‍්‍රමාණයක් ලබා ගැනීම සඳහා කොකෝවා පැළ කප්පාදු කිරීම කළයුතුය. ප‍්‍රධාන කඳේ අතු විහිදීම අඩි 05 කට ඉහළින් තබා ගැනීමටත්, කඳට හොඳින් හිරුඑළිය ලැබෙන ආකාරයෙන් සියලු ම කඳෙන් එන රිකිලි (දිය රිකිලි) ඉවත් කිරීමටත්, දුර්වල අතු ඉවත් කිරීමටත් පියවර ගත යුතු ය. පොල් කැඩීම සඳහා කෙකි ගෙනයාමට බාධාවක් විය හැකි අතුවල කොටස් ඉවත් කිරීම ද අවශ්‍ය වේ.

 

රෝග හා පළිබෝධ

කොකෝවාවලට වැළඳෙන රෝග හා හානිකරන කෘමීන් සන්සන්දනාත්මකව අඩුය. එහෙත් ගෙඩි කුණුවීමේ රෝගය වැදගත් වේ. මෙම රෝගය මර්දනය සඳහා බෝඩෝ මිශ‍්‍රණය හෝ වෙළෙඳපොළෙහි ඇති තඹ අඩංගු දිලීර නාශකයක් භාවිත කළ යුතුවේ. කොකෝවා කැප්සිඩ් මකුණු විශේෂයෙන් වැඩෙන ගෙඩිවලට බලවත් හානි සිදුකරයි. කෘමිනාශක කුඩු වර්ග ඉසීමෙන් මෙම කෘමියා පහසුවෙන් පාලනය කළ හැකිය. පොල් වගාවේදී විශේෂයෙන් වැදගත් වන්නේ කොකෝවා ගෙඩිවලට ලේනුන්ගෙන් වන හානියයි. ලේනුන්ගේ ගහනය අඩු කිරීමට පියවර ගත යුතුය. පොල් ගස්වල ලේන් කූඩු සෑදීමට නොදී පවත්වා ගැනීමෙන් ගහනය පාලනය කළ හැකිය.

 

අස්වනු නෙලීම හා සැකසීම

පොල් වගාවක කොකෝවා වගාකරන විට කොකෝවා මල් හට ගැනීමට ගතවන කාලය කොකෝවා ප‍්‍රභේදය සහ වගාවේ පාලන තත්ත්වය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් අවුරුදු 3 ක වගාවකින් ප‍්‍රථම අස්වැන්න නෙළාගත හැකිය. අවුරුදු 5-6 ක් පමණ වන විට මුළු වගාවම පලදරණ තත්ත්වයට පත්වේ. පොල් වගාවක් තුළ වැඩුණු කොකෝවා ගසකින් වර්ෂයකට සැකසූ කොකෝවා ඇට කිලෝ 01 ක් පමණ පහසුවෙන් ලබාගත හැකිය. කොකෝවා ගෙඩි ප‍්‍රධාන වශයෙන් මුල් කඳේ සහ අතුවල ප‍්‍රධාන ශාකවල හට ගනී. ගෙඩි හොඳින් වැඩී කහ පැහැ වූ විට පමණක් නෙළාගත යුතුවේ. ඇට ලබා ගැනීම සඳහා ගෙඩි පිහිවලින් නොකැපිය යුතු ය. ඇට පිහියට කැපී යාම එයට හේතුවයි. කැපුණු ඇට සැකසීම සඳහා යොදා ගැනීමට අපහසුය. ඉදුන ගෙඩි ලීයකින් ගසා බැලිය හැකි අතර, සෙවල වැනි ආවරණයක් සහිත පැසුන බීජ කෙසෙල් කොළ ඇතුරූ කූඩයක තැන්පත් කර, දින තුනක් පමණ වසා තැබිය යුතුය. එවිට ඇට වටා ඇති සෙවල ආවරණය පැසවීමට ලක්වී දිය වී යයි. පසුව ඇට හොඳින් ජලයෙන් සෝදා පිරිසිදු කර, හිරු එළියේ වියළා ගත හැකිය. හොඳින් වියලන ලද කොකෝවා සැලකිය යුතු කාලයක් ගබඩා කර තැබීමට පුළුවන. මුලදී වගාව හොඳින් නඩත්තු කළහොත් දීර්ඝ කාලයක් පුරා හොඳ ආදායමක් දිගින් දිගට ම ලබාගත හැකි වේ. හොඳ තත්ත්වයේ සැකසූූ කොකෝවා බීජ කිලෝවක් රු. 170 වකට පමණ අලෙවි කළ හැකිය. මෙය පොල්වලින් ලැබෙන ආදායමට අමතරව ලැබෙන ආදායමකි. අනෙක් අතුරු බෝග හා සැසඳීමේදී වැඩුණු කොකෝවා වගාවක් පාලනය කිරීම පහසු වේ.