Rabutan රඹුටන්

 

අප රට නිජ බිම නොවුවත් අප රටට ආවේණික වී ඇති, කුඩා ඔබ සැමට මෙන්ම අප සැමට ඇසූ පමණින් කටට කෙළ උණන රඹුටන් කුරුල්ලන්ගේ හා ලේනුන්ගේ ද පි‍්‍රයතම පලතුරකි. රඹුටන් පිළිබඳව කතා කිරීමේදී නිතැතින් සිහියට නැගෙනුයේ මල්වානේ රඹුටන් පිළිබඳවයි. විදේශීය රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ මනදොළ පිනවන රසවත්ම පලතුරක් ලෙස ජනපි‍්‍රය වී ඇත.මලයාව නිජබිම කරගත් නිවර්තන කලාපයට අයත් මෙම ශාකය සපින්ඩාසේ (Sapidaceae) කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාවට අනුව නේපලියුම් ලැප්සියාම් (Nephelium Lappaceum) ලතින් බසින් ද හඳුන්වනු ලබයි. මෙසේ විවිධ අයුරින් හඳුන්වනු ලබන මෙම ශාකය කූඩයක් දිග හැරියාක් මෙන් දර්ශනීය ලෙස පහතට නැමී ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 675 න් පහළ ප‍්‍රදේශවල ඉතා සාර්ථකව වැඩෙන අතර මීටර් 13 ක් පමණ උසට වැඩෙන මෙම ශාකයේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවේ. ප‍්‍රරෝහන කාලය සති දෙකක් පමණ වන අතර බීජ පැළ සකස් කර ගැනීමේදී පුරවන ලද පෝර පස් අඩංගු පොලිතින් මළුවල බීජ සිටවා පැළ කර ගැනීමෙන් හෝ වලවල් කපා ඇට සිටවීමෙන් වගා කිරීමට හැකිවේ. එතෙක් නවීන තාක්‍ෂණය මගින් පැළ බද්ධ කිරීම තුළින් වැඩි ඵලදාවක් ලබා ගැනීමට හා කෙටි කාලයක් තුළ ඵලදාව හට ගැනීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් වසර 4 - 5 ක් පමණ රඹුටන් ගසක ඵලදාව හටගැනීමට ගතවේ. මෙම ශාකයේ පෙබරවාරි මාර්තු මාසවල මල් හටගෙන අපේ‍්‍රල් මැයි මාසවල ගෙඩි මෝරා වැඩෙන අතර ජූනි මස වන විට ඵලදාව නෙළීමට හැකිවේ. විශේෂයෙන් වියළි දේශගුණයක් අවශ්‍ය වන අතර රඹුටන් වල පැණි රස ගතිය වැඩිවේ. ප‍්‍රථම ඵලදාවේදී රඹුටන් ගෙඩි 100 - 200 ක් හටගන්නා අතර ගසේ වර්ධනය වැඩි වීමත් සමඟ ඵලදාව ද වැඩි වේ.

 

මලයාවේ රඹුටන් වර්ග 14 ක් පමණ ඇති මුත් අප රටේ ඇත්තේ කිහිප වර්ගයකි. රඹුටන් ගෙඩි වටකුරු මෙන්ම අංඩාකාරයෙන් යුත්් වනවා මෙන්ම කොළ පාටින් යුක්ත වූ ගෙඩි ඉදුණු පසු රතු පාටින් හා කහ පාටින් යුක්ත වේ. රඹුටන් එක් රිකිල්ලක ගෙඩි 20 - 30 ක් පමණ හටගන්නා අතර රඹුටන් ගෙඩිය කෙඳි වර්ගයක් මගින් ගෙඩියට අවශ්‍ය ආරක්‍ෂාව සලසන බැවින් ගෙඩි බිමට කැඩීමේදී හානියක් සිදු නොවන අතර මලයාලි භාෂාවෙන් රම්ඹුට් යන වචනය සිංහල භාෂාවෙන් රඹුටන් වී ඇත. මෙහිදී හොඳින් ගැලවෙන රඹුටන් ලොව අනර්ඝතම රඹුටන් ලෙස පිළිගැනේ. රඹුටන් ඉදෙන විට කුරුල්ලන් ගෙන් හා ලේනුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. දිවා කාලයේදී මෙන්ම රාතී‍්‍ර කාලයේදී වවුලන්ගෙන් බේරා ගැනීමට ද සිදුවේ. අප රටේ කළුතර දිස්ති‍්‍රක්කය හා කොළඹ දිස්ති‍්‍රක්කයේ ආර්ථික භෝගයක් වශයෙන් වගා කරන අතර ලෝකයෙ සිංගප්පූරුව, ජාවා, බුරුමය, මැඩගස්කරය, මුරුසිය යන රටවල ආර්ථික භෝගයක් ලෙස වගා කෙරේ. සාමාන්‍ය වශයෙන් අක්කරයක් සඳහා රඹුටන් පැළ 35 ක් පමණ නිර්දේශ කර ඇත. සෑම නිවසකම පාහේ රඹුටන් ගසක් දෙකක් ඇති අතර දේශීය වෙළෙඳුන්ගේ ආර්ථිකය ගොඩනැගීමට මහත් පිටුවහලක් වේ.