Wana Wagawa වන වගාව

 

ශ්‍රී ලංකාව තුළ වන වගා ස්ථාපනය කිරීමේ ආරම්භය 1870 දශකය තරම් වූ ඈත අතීතයක් කරා දිවයයි. පසුගිය වසර 100 කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ හෙක්ටයාර් 93,000 කට ආසන්න වන වගා ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. මෙම වන වගා සඳහා ප්‍රධාන වශයෙන් තේක්ක, ඉයුකැලිප්ටස්, පයිනස් සහ මැහෝගනී යන ශාක විශේෂ යොදා ගෙන ඇත.

හේන් වගාව හේතුකොට ගෙන අහිමි වූ ස්වභාවික වනාන්තර ප්‍රදේශවල මෙම වන වගා ස්ථාපනය කිරීම (1890 සිට 1950 දක්වා කාලයේදී) ආරම්භ කරන ලදි. මෙම වකවානුවේදී සමූපකාර නැවත වන වගාකිරීමේ වැඩසටහන යටතේ තේක්ක සහ මැහෝගනී වන වගාවන් ඇතිකරන ලදී. පතන තෘණබිම්වල වන වගාකිරිමේ ප්‍රතිපත්තියට අනුව 1939 දී පයිනස් සහ ඉයුකැලිප්ටස් තෙත් කලාපයේ සහ උඩරට ප්‍රදේශ වල වගාකිරීම ආරම්භ කරන ලදි.

ස්වභාවික වනාන්තර කෙරෙහි තිබෙන පීඩනය පිටුදැකීම සඳහා දර සහ දැව නිෂ්පාදනය, වන වගාවල මූලික කාර්යභාරය විය යුතුය යන ප්‍රතිපත්තිය 1953 වස‍රේදී එලිදැක්වුන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ තේකක සහ ඉයුකැලිප්ටස් ද, තෙත් කලාපයේ පයිනස් ද මහා පරිමාණයෙන් වගාකරන ලදි.

අද වන විට ඵලදායී වන වගා යටතේ පවතින මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 93,000 ක් පමණ වේ. මෙම ප්‍රදේශවල දක්නට ලැබෙන ශාක විශේෂ පහත දැක්වේ.

ශාක විශේෂ අනුව වන වගාවල ව්‍යාප්තිය

 

ශාක විශේෂය

භූමි ප්‍රමාණය (හෙක්ටයාර)

 

කේතුධර (පයිනස්)

16440

 

යුකැලිප්ටස් හා ඇකේෂියා

27500

 

තේක්ක

31713

 

මැහෝගනී

5001

 

විවිධ

12346

 

එකතුව

93000

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන වගා පිළිබඳ සම්පූර්ණ දත්ත සමුදායක් පවත්වාගෙන යන අතර, අඛන්ඩ භාණ්ඩ හා සේවා සැපයුමක් තහවුරු කිරීම සඳහා වගා කළමනාකරණ සැලසුම්වලට අනුව, ඒවා කළමනාකරණය කරයි. මෙම වන වගාවලින් වසරකට දැව ඝන මීටර් 120,000 ක් පමණ නිෂ්පාදනය කරන අතර, එය ජාතික අවශ්‍යතාවයෙන් 8% ක් පමණ වේ.