Wee Gowithana වී ගොවිතැන

 

අස්වැන්න නෙලා ගන්නා ආකාරය

සිංහල ගොවියාගේ උසස් චාරිත‍්‍ර විධියක් ලෙස කොළ පෑගීම සැලකේ. මිනිසා දුක් මහන්සි වී විවිධ දුක් කම්කටොලු, බාධක මැද අමාරුවෙන් වගාකර ගත් වගාවේ අස්වැන්න නෙළා ගැනීම අවසාන කි‍්‍රයාවලිය වගේම ජීවිතයේ බොහෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මේ මගින් හැකියාවක් ලැබෙන හෙයින්ද , කාලාන්තරයක් දුක්විද නෙලා ගන්නා අස්වැන්නේ තරම දැන ගැනීමට ලැබෙන හෙයින් ද අස්වැන්න නෙලා ගැනීමේ කාර්ය ගොවීන්ට උතුම් කාර්යකි. අපේ පැරණි ගොවීන් කොළ පෑගීම දෙආකාරයකට සිදු කරන ලදී. එනම් මී හරකුන් යොදවා කොළ පෑගීම හා මිනිසුන් කීප දෙනෙකු එකකු වී පයින් පෑගීමෙනි. මේ ක‍්‍රම දෙකෙන් පයින් පාගා ගැනීමේ ක‍්‍රමය මගින් අස්වනු නාස්තියකින් තොරව පිරිසිදුවට නෙළා ගැනීමට හැකිය. එසේම මෙම ක‍්‍රමය සඳහා බොහෝ පිරිසක් සිටීනම් ඉක්මනින් නිම කළ හැකි පහසු ක‍්‍රමයක් ලෙස සැලකේ. මී හරක් හතර දෙනෙක් එක පේළියකට සිටින සේ ( මීගොන් කැරැල්ලක් ) සකස් කර ගත යුතුය. මෙවැනි මී හරක් පේළි දෙකක් තුනක් හෝ යොදා ගන්නා අතර කමතේ ගොයම් ඇති විට මී හරකුන් කමත වටේ මැදින් දකුණු අත පැත්තට සිටින සේ ගමන් කර විය යුතුය. මෙම හරකුන්ගෙන් මුල්ම ගවයා “ මුදුනා” ලෙසත් අන්තිම ගවයා “කලාතයා “ ලෙසත් හඳුන්වයි. කමතට ගොයම් රැගෙන ඒමට මුලින් කරන චාරිත‍්‍ර ආකාර කීපයකි. මෙම චාරිත‍්‍ර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්ය. එවැනි දුලබ චාරිත‍්‍ර කීපයකි මේ. ඇතැම් ප‍්‍රදේශ වල ගොයම් කමතට ගෙන එහි දැමීමට පෙර පිදුරු වලින් සකස් කර ගන්නා කඹයක් දෑකැත්තේ මිටේ ඔතා කමත මධ්‍යට වන්නට ඇති පැදුර යටින් තැබීම සිරිතකි. තවත් සමහර පළාත් වල කමත මැද සිටුවා ඇති කනුව වටා අළු වලින් කරන ලද සැරසිල්ලක් තබනු ලැබේ.

 

අතීතයේ භාවිතා කළ වී වර්‍ග

කාලයත් සමඟ නව තාක්ෂණය යටතේ වී ගොවිතැන පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයක් ඇත. ඒ වගේ විවිධ වර්‍ගයේ නවීන වී වර්‍ග ද ඇත. ඒ වගේම අපේ පැරැන්නන් විවිධ වී වර්‍ග යොදා ගනිමින් රට සහලින් ස්වයං පෝෂිත කළා පමණක් නොව අපනයනය කිරීමට තරම් සහල් නිපැයූ බවද සඳහන් වෙයි. පැරැන්නන් වගා කළ වී වර්‍ග වලට අද වගා කරන වී වර්‍ග වලට මෙන් රෝගාබාධ නොවීය. එසේම අද මෙන් නොයෙක් පොහොර වර්‍ග එදා නොතිබිණ. නමුත් දැනට දේශීය වී වර්‍ග 350 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සඳහන් වේ.ශී‍්‍ර ලංකාවේ ගම් නියම් ගම් වල ගොවීන් වගා කරන ලද වී වර්‍ග රාශියක් තිබේ. නමුත් මේවා අද නම්වලින් පමණක් තිබේ.මාවී, හීනටි, සුදු හීනටි , කලු හීනටි, සම්බා, මුතු සම්බා, පුෂ්ප සම්බා, කලුදුරු, මහ කලුදුරු, මුරුංගා කායම් , පුවක් මල් ඇල්, දෝවටුවා ඇල්, කලු වී, කලුකද කුරු වී, කොත්තමල්ලි, කොහු වී, තණ ඇල්, දෙවරැද්දිරි පොඩි වී, කොළ ඇල්සුදු මුරුංගා, ආදිය ඉන් සමහරක්ය.

 

පැරණි දේශිය වී වර්‍ග වල ලක්ෂණ

දේශීය වී වගාවේ පැරණි වී වර්‍ග වල විශේෂ ලක්ෂණ රාශියකි.එනම් * පෝෂ්‍ය ගුණයෙන් ඉහළය*රස , ගුණ, සුවඳින් යුක්තය* අස්වැන්න අතරින් ඉහළය*ලෙඩ රෝග වලට ඔරොත්තු දේ.අපේ පැරණි සිංහල ජනයා නිරෝගී කාය ශක්තියෙන් හා ශක්තිමත් දේහයක් ඇතිව නිරෝගීව ජීවත් වූයේ මෙම වී වර්‍ග වල තිබූ ගුණාත්මක භාවය නිසාය.අද මෙන් නොව පැරණි ගොවියා තුළ වී වගාව සම්බන්ධයෙන් පැවතියේ උනන්දුවකි. සෑම ගොවියෙක්ම එකාවන්ව වී ගොවිතැන් කටයුතු වල ණියලුනු අතර සී සෑම, වී වැපීරීම, පැළ සිටුවීම,, අස්වැන්න නෙලීම ආදී කටයුතු වලදී ගොවියන්, ගෙවිලියන්, ජන කවි හා අඩහැර පෑම් මගින් එකමුතුකම , සමගිය නිරූපනය කළේය.ඈත අතීතයේ වී ගොවිතැන අවුරුද්දකට එක් වරක් කළ ද එහි තිබූ අස්වැන්න හොඳ නිසා එයින් ස්වයං පෝෂිත භාවයක් ලබා ගැනීමට සමත් වූහ. වී වර්‍ග අතර හත් මාසයේ වී නමින් ඉතා උසස් ගණයේ වී වර්‍ග වපුරන ලද වුවත් යම් පුද්ගලයෙක් අන් ගොවින්ට වඩා ප‍්‍රමාද වී තම වී වපුරන ලද්දේ නම් ඔහුටද එකම කාලයේ අස්වනු නෙලා ගැනීමට හැකි වන පරිදි බාල වර්‍ගයේ වී ( අඩු මාසයෙන් අස්වැන්න නෙලා ගැනීමට හැකි ) වර්‍ගයක් යොදා ගැනීම මගින් සෑම දෙනාටම එකම කාලයේ සාමූහිකව අස්වැන්න නෙලා ගැනීමට හැකිය.

 

ලාංකීය වී වගාවේ පරිහානියට හේතු

අපේ රටේ ජනගහනයෙන් වැඩි කොටසක ගේ (70% පමණ) ප‍්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේදී සුළු හා මධ්‍යම පරිමාණ ගොවීන් විශේෂ කොට සැලකිය යුතුය. කෘෂි කාර්මික ඉඩම් වලින් 45% ක් පමණ අක්කර 40 අඩු ඉඩ ප‍්‍රමාණයක විහිදී ඇත.  මෙම ඉඩම් විලින් බොහෝමයක් එදිනෙදා පරිභෝනයට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමට යොදා ගෙන ඇත. ගෝලීයකරණය හමුවේ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විධිමත් හා නිසි සම්බන්ධීකරණයක් නොමැතිව කෙටි කාලීන ප‍්‍රතිපත්ති වලට වඩා දිගුකාලීන කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති සකස් කළ යුතු ය.වී වගාව සඳහා කලක් තිස්සේ යොදාගත් කුඹුරු විශාල ප‍්‍රමාණයක් ගොඩ ඉඩම් බවට පත් කර වෙනත් අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. මෙම ඉඩම් වලට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ පාලනය කිරීමට කෙනෙක් නොසිටීමත්, පෞද්ගලික හේතු මත පොදු ඇල මාර්ග අසුරා දැමීම නිසා ස්වාභාවිකව පිහිටි ඇල දොළ, ගංඟා, පොකුණු විනාශ කිරීමත්ය. පසුගිය කාලය පුරාම මෙම තත්ත්වය දැක ගැනීමට ලැබුණෙන් අයිතිකරුවන් වගා කිරීමට නොහැකි කුඹුරු ගොඩකර වෙනත් අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. අනුරාධපුර දිස්ති‍්‍රක්කය ඇතුළු වැව්බැඳි රාජ්‍යන්වල වැව් සිදී යාමෙන් ජලය හිඟ වූ නිසා වාරිමාර්ග කටයුතු අඩාලවීමෙන් ගොවීන් අසරණ තත්ත්වයට පත් වී ඇත. ස්වයං පෝෂිත ආර්ථික රටාවක් උරුම වී ඇති අපේ රටට ලාංකික කෘෂිකාර්මික සමාජය විවෘත ආර්ථිකයෙන් විනාශයට පත් කිරීම නිසා ශ‍්‍රී ලාංකික කෘෂිකර්මාන්තය හා ශ‍්‍රී ලංකාව අගාදයට ඇඳ දමන්නට මූලික වී ඇත්තේ පෞද්ගලීකරණයයි.

 

වී වගාව සම්බන්ධ පැරණි ක‍්‍රම

අතීතයේ වී වගාව දෙවිදියකට සිදු කෙරිණි. එනම් ජලය නොමැතිව හේන්වල වගා කරන ලද ඇල් වී වර්‍ග හා ජලය සහිතව මඩ කුඹුරු වල වගා කරන ලද පැරණි වී වර්‍ගය. අද වන විට මඩ සහිත කුඹුරු වල වගා කරන ලද පැරණි වී වර්‍ග ඉදහිට වත් දක්නට නොලැබෙන අතර ගොඩ ගොවිතැන සඳහා යොදා ගත් කලු වී, කොලයල් හීනටි වැනි වී වර්‍ග අද වන විට කිසිසේත් දැක ගැනීමට නොලැබේ.පැරණි සිංහල ගොවියා බුද්ධිමත්ය. කාර්යක්ෂමතාවෙන් යුක්තව කටයුතු කරන්නෙකි. ඒ නිසාම ඔහු කාලයට, දේශයට, උචිත ආකාරයට වී වර්‍ග තෝරා ගැනීමට සමත් විය. වී වගාව අතිශය දුෂ්කර කාර්යක් නිසා එහිදී මතු වූ ප‍්‍රතිරෝධයන් වළකා ගැනීමට ද සමත් විය. මේ කරදර කම්කටොලු වලින් බේරී තම වගා කටයුතු නිසියාකාරව සිදු කිරීමට පැරණි ගොවියෝ විවිධ වී වර්‍ග නියමිත වේලාවට කුඹුරු වලට යොදා ගැනීමට නොහැකි වූ අවස්ථා වලදී ඒ ඒ කාල සීමාවන්ට ගැළපෙන්නට වී වර්‍ග විකල්පයක් ලෙස යොදා ගත්හ.වී ගොවිතැන සම්බන්ධ කාර්යයේදී විශේෂයෙන්ම සැලකිය යුත්තේ පසේ විවිධ ගුණයන්ට ගැළපෙන ආකාරයට වී වර්‍ග යොදා ගැනීමයි. එසේම අධික මඩ ගතියෙන් යුත් කුඹුරු වල වගා කරන ලද්දේ පඳුරු සහිතව වැවෙන වී වර්‍ගයන්ය. එසේ නොමැති නම් ගොයම් ගස පෙරළී වතුරට කුණු වී යාම සිදුවේ.

 

වී වගාවේ පසුබෑමට හේතු

වී වගාවේ පසුබෑමට හේතු වන ජල හිඟය මඟහරවා ගැනීමට කළ හැකි මූලිකම පියවර නම් රොන් මඩ වලින් පිරීපවතින වැව් ප‍්‍රතිසංකරණය කොට එහි ජල ධාරිතාව උපරිම මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමයි. වැස්ස ලැබීමත් සමඟ ජලය ජලාශ වල පිරෙන අවස්ථාවේදී වැව් බැම්ම කැඩේවි යැයි බියෙන් ජලය පිට කිරීම නිසා ප‍්‍රමාණවත්, ජලධාරිතාවක් රඳවා ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා සිදුවන පාඩුව නම් වගා කිරීමට හැකි කුඹුරු අක්කර ප‍්‍රමාණය අඩුවීමයි. වී ගොවියා අද මුහුණ පා සිටින ලොකුම අභියෝගය නම් කුඹුරුවලට අවශ්‍ය ජලය සැපයීම හා වෙහෙස මහන්සි වී නෙලා ගන්නා අස්වැන්න නියම මිලකට විකුණා ගැනීමට නොහැකි වීමත්ය. මුදල් නොමැති කමින් ණය වී වගාකර ගන්නා ලද ගොයම් නෙළන අවස්ථාව වන විට ගොවීන්ට විඳින්නට සිදුවන්නේ සැනසුම වෙනුවට දුක්ක දෝමනස්සයන්ය. මෙහි ලොකුම ඛේදවාචකය වන්නේ වී නිෂ්පාදනය සඳහා නියම මිලක් ලබා ගැනීමට නොහැකිව වී ගොවියා අතර මැදියාගේ ග‍්‍රහණයට අසුව පීඩා විදින්නෙකුගේ තත්ත්වයට පත් වීමයි.

 

ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ හා   සංවර්ධන කාර්යයන්

ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා 1912 දී කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. වී වගාව පිළිබඳ සියලු කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් කෘෂි පර්යේෂණ ආයතනය පිහිටුවන ලදී. මුලින්ම කෘෂි පර්යේෂණ ආයතන ආරම්භ කළේ මහඉලුප්පල්ලමය. මේ වකවානුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමෝධාන ගොවිපළක් වශයෙන් 1933 ආරම්භව තිබූ බතල ගොඩ ගොවි පළ 1952 වසරේදී දී මධ්‍යම වී මධ්‍යස්ථානය ලෙස ආරම්භ කළේය.බතලගොඩ සමෝධාන ගොවි පළ මෙලෙසින් මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය ලෙසින් පරිවර්ථය විය. 1950 හා 1960 දශකයන් තුළ මෙම ආයතනය වී අභිජනනය සම්බන්ධ කටයුතු වල පමණක් නියැළුණු අතර 1960 සිට මේ වන තුරු නවීන වර්ගයේ වී නිෂ්පාදනය කරමින් විශාල සේවයක් සිදු කර ඇත. 1933 සිට මෙම ආයතනය මඟින් සිදු කළේ වී වර්ග අභිජනනය කිරීම හා වැඩි දියුණු කිරීම පමණි. මෙය 1994 සිට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය නමින් නම් කොට වී වර්ග අභිජනනය කිරීමට අමතරව ව්‍යාප්ති සන්නිවේදනය මෙන්ම දියුණු කටයුතු පවත්වාගෙන යාමද සිදු කොට ඇත. බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධ ආයතනයක් ලෙසින් ලංකාවේ වී වගාව සංවර්ධනයයේ ලා විශාල සේවයක් සිදු කොට ඇත.මේ කාල වකවානුව තුළ වී වර්ග පනහකට වැඩි ගණනක් නිෂ්පාදනයෙහි ලා දායකත්වය ලබා දී තිබෙන අතර මේ වන විට වී වර්ග 30ක් පමණ ශ‍්‍රී ලංකාවේ වගා කෙරේ. මේ වී වර්ග ලංකාවේ පමණක් නොව දැන් ආසියාතික රටවල් ගණනාවකම ව්‍යාප්තව ඇත.