Daruwa Dantha Waidyawaraya Wetha GenaYama ඔබේ දරුවා දන්ත වෛද්‍යවරයා වෙත ගෙන යාම

 

ඔබේ බිලිඳාගේ සිනහව දකින විට ඔබෙත් පවුලේ සැමගේත් සිත සතුටින් පිනා යනු නොඅනුමානයි. මුලින් මුලින් දත් නැති විදුරුමහ සමග පින්බර ආච්චි අම්මා කෙනෙක් හරි සීයා කෙනෙක් වගේ හිනා වෙන සිඟිත්තා ටිකක් කල් යන විට කිරි දත් පෙන්වමින් සිනහ පාන්නට පටන් ගනීවි. ඉතින් මේ කිරි දත් ටික කලකින් හැලී ගොස් අලුත් දත් ආවත් එම කිරි දත් ටික හොඳට රැක බලා ගැනීම ඉතා වැදගත්. අද අපි විමසා බලමු ඔබේ දරුවාගේ මුල්ම දන්ත වෛද්‍ය හමුව ගැන.

 

කුඩා දරුවෙකුගේ මුඛ සෞඛ්‍යය ගැන ඔබ සලකිලිමත් විය කරුණු මොනවාද?

අපි ඉහත සඳහන් කල පරිදි කිරි දත් පෙළ උනත් මනා ලෙස රැක බලා ගැනීම වැදගත්. ඉතින් මෙසේ රැක බලා ගැනීමේදී ඔබ මතක තබා ගත යුතුයි දරුවාට නිසි ලෙස දත් මැදීම ඉගැන්වීමට. මෘදු දත් බුරුසුවකින්, කුඩා දරුවන්ට විශේෂ වූ ක්ලෝරයිඩ් රහිත දන්තාලේපයකින් දත් මදින්න. මෘදු බුරුසුවක් අවශ්‍ය වන්නේ ඔබේ බිළින්දාගේ විදුරුමස සහ මුව තුල සම තවමත් සියුම් නිසා. වැඩිහිටියන්ට නම් ජලයේ ක්ලෝරයිඩ් අවම ප්‍රදේශ වල ජීවත් වන විට ක්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතය ගැටලුවක් නැහැ. නමුත් දරුවන් සමහර විට දත් මැද එම ආලේපය කෙල සමග ඉවත නොදා ගිලින්නට ඉඩ තිබෙනවා. එනිසා ඔවුන්ට දිය යුත්තේ දරුවන්ට සුදුසු විශේෂ දන්තාලේපයක්. මීට අමතරව ඔබ මේ වන විට දරුවා කෑම වලට පුරුදු කරනවා ඇති නේද? එවිට දරුවාට හඳුන්වා දෙන්න ශරීර සෞඛ්‍යයට සහ විශේෂයෙන්ම දත් වල වැඩීමටත් කල් පැවැත්මටත් සුදුසු අහාර. එපමණක් නොවේ දත් වල කුහර ඇති වීමට බලපාන අධික සීනි සහිත සහ දත්වල ඇලෙන සුළු ආහාර අවම කරන්න. පුළුවන් තරම් දරුවාව පළතුරු සහ ස්වභාවික ආහාර වලට පුරුදු කිරීම වැදගත්. ඇතැම් දෙමවුපියන් අනවශ්‍ය ලෙස චොකලට්, ටොෆි, රස කැවිලි වලට දරුවන් පුරුදු කරනවා. චොකලට් ආදිය ඔබේ ආදරය දරුවට පෙන්වන ක්‍රමයක් ලෙස දරුවා නොමග යවන්න එපා. එය දිගු කාලීනව අහිතකර ප්‍රථිපල ගෙන එන බව අමුතුවෙන් කිව යුත්තේ නැහැ නේද?

 

ඔබේ දරුවා දන්ත වෛද්‍ය සායනයට ගෙන යා යුත්තේ කුමන කාලයේදීද?

අපගේ සාමාන්‍ය පුරුද්ද නම් ලෙඩක් දුකක් වන තුරු වෛද්‍යවරයා දකින්නට නොයාමයි. මෙය එතරම් හොඳ නැහැ. ඔබට හැකි සෑම අවස්ථාවකම ලෙඩ වීමට පෙර එය වලක්වන ක්‍රම අනුගමනය කරන්න. එවිට ඔබ වසරකට වරක් හෝ දෙවරක් සුව සායනයකට ගොස් වෛද්‍ය උපදෙස් මත රෝග වලකන පියවර ගත හැකි වේවි. ඉතින් දන්ත වෛද්‍ය සායනයත් එසේමයි. ඔබේ දරුවාගේ දත් වැඩීම ආරම්භ වී මාස 6ක් පමණ ගත වන විට දන්ත සායනයකට ගොස් පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි. නමුත් එයට පෙර සිටම දරුවාගේ දත් ගැන අවධානයෙන් සිටින්න. දත් අව පැහැ ගැන්වීමක්, කුහර තත්ත්වයක්, අසාමාන්‍ය පිහිටීමක් ආදිය තිබේ නම් මාස 6ක් ගත වීමට පෙර සිටම දන්ත වෛද්‍ය සායනය වෙත යන්න.

 

සුදුසු දන්ත ශල්‍ය වෛද්‍ය වරයකු සොයා ගන්නේ කෙසේද?

ප්‍රධාන නගර වල නම් සමහර විට ඔබට කුඩා ළමයින් සම්බන්ධ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය වරු මුණ ගැසීමට හැකියාව තිබෙනවා. එවැනි දන්ත ශල්‍ය වෛද්‍ය වරු කුඩා දරුවන්ගේ දත් වල ඇතිවන සංකුලතා ආදිය ගැන විශේෂයෙන් සොයා බලනු ඇති. නමුත් ඔබේ ප්‍රදේශයේ සිටින ඕනෑම සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍ය වරයෙකු මේ සඳහා සුදුසුයි. ඔවුන් මූලික මට්ටමේ නිරීක්ෂණ සිදු කර යම් සංකූලථාවක ලක්ෂණ තිබේ නම් පමණක් විශේෂඥ වෛද්‍ය වරයෙකුට යොමු කරනු ඇති. කුඩා දරුවන් සඳහාම වන විශේෂ දන්ත සායන වල දරුවන්ට ප්‍රියමනාප වන සේ වර්ණ ගන්වා ඇති අතර කුඩා සෙල්ලම් බඩු, රූප පොත් ආදිය තබා ඇති නිසා ඔවුන් එම පරිසරයට බිය වන්නේ නැහැ. ඔබ මේ වන විටත් ඔබෙත් ඔබේ ස්වාමියාගේත් දන්ත පරීක්ෂණ කටයුතු වලට යන වෛද්‍ය වරයකු සිටීනම් ඔහු හෝ ඇය හමුවන්න. එවිට ඔබේ පෙර සිට තිබෙන හැඳුනුම් කම මත ඔබ ඔවුන් සමග සුහදව කථා කරනු දකින නිසා දරුවා තැති ගැන්මකට ලක් නොවී සිටිනු ඇත.

 

මුල්ම දන්ත සායන ගමනේදී දරුවා බිය වෙයිද?

ඇත්තෙන්ම දරුවා මේ වන විට දත් පිරවීම සහ ගැලවීම ආදිය දැක නොමැති නිසා ඔවුන් එතනට යන්නේ නැවුම් මනසකින්. ඔබේ හෝ ඔබේ වැඩිමහල් දරුවන් කියන දේවලින් තමයි දරුවා දන්ත සායනය ගැන පින්තුරයක් මවා ගන්නේ. එනිසා බිය නොකර දරුවා එතනට ගෙන ගොස් දරුවා සමග ප්‍රියමනාප ලෙස සුහද කතා බහේ යෙදෙමින් සිටින්න. බොහෝ දක්ෂ දන්ත වෛද්‍යවරු දරුවා සමග ඉක්මනින් මිත්‍ර වී සුහදව කථා කරමින් පරීක්ෂාව කරනු ඇත. ඒ වගේම කුතුහලය පිරුන මනසකින් හෙබි ඔබේ දරුවා දන්ත ශල්‍ය ආසනයේ වාඩි වීමත්, එහි ඉහල පහල යෑම සහ ඒ අවට ඇති ආම්පන්න දෙසත් කුතුහලයෙන් බලා විනෝද වේවි.

 

මුල්ම දන්ත සායන ගමනේදී සිදුවනේ කුමක්ද?

ඔබේ දරුවාගේ දත් වල අසාමාන්‍ය පිහිටීමක් හෝ වෙනත් අව පැහැ ගැන්වීමක්/ කුහර ආදිය නොමැති නම් මෙම වෛද්‍ය හමුව වැදගත් වන්නේ දරුවා දන්ත සායනයට හඳුන්වා දීමයි. සායනයට ගිය පසු දරුවාට එහි බිත්තියේ ඇති රූප සටහන් පෙන්වමින්, තවත් කුඩා දරුවන් පැමිණ ඇති නම් ඔවුන් සමග සමාජශීලී වන්නට අනුබල දෙමින් ඔබේ වාරය පැමිණෙන තුරු රැඳෙන්න. ඉන්පසු වෛද්‍ය වරයා දරුවාව ආසනයේ වාඩි කරවනු ඇත. දරුවා සමග මඳක් කථා කර මිත්‍රශීලී වූ පසු වෛද්‍ය වරයා දරුවාගේ දත්, හනුව සහ විදුරුමස මනාව පරීක්ෂා කරනු ඇත. ඉන්පසු අවශ්‍ය නම් දරුවාගේ දත් පිරිසිදු කිරීමක් කරනු ඇත. ඒ සමගම දරුවාගේ යහපත් මුඛ සෞඛ්‍යය සඳහා උපදෙස් ලබා දීමත් සිදුවේ. ඔබට වෛද්‍ය තුමන්ගෙන්/ වෛද්‍ය තුමියගෙන් අසා දැන ගත යුතු ගැටළු තිබේ නම් පෙර සිටම ලියාගෙන යන්න.

 

නැවත වරක් දන්ත වෛද්‍ය සායනයට යා යුත්තේ කවදාද?

ඔබේ දරුවාගේ දත් වල සහ මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටළු තිබේ නම් පමණක් වෛද්‍ය වරයා යම් කිසි දිනයක නැවත හමුවක් සඳහා නියම කරනු ඇත. එසේ නොවේ නම් මාස 6කට/12කට පමණ වරක් දන්ත සායනයකට යෑම ප්‍රමාණවත්ය. නමුත් ඔබ නිතරම දරුවාගේ මුඛ සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. එනිසා දරුවාට නිසි දන්ත සෞඛ්‍ය පුරුදු කියා දෙමින් විශේෂයෙන්ම ඔබ සහ ඔබේ සැමියා යන දෙදෙනාම දරුවාට ඒ ගැන නිසි ආදර්ශ දෙමින් (නිවැරදි ලෙස දත් මැදීම සිදු කිරීම , බුලත්/ දුම්කොළ/ දුම්වැටි වලින් වැලකී සිටීම) දරුවාට ඉබේම මෙම පුරුදු ඇති කර ගැනීමට මඟ පාදන්න.

Dr (Mrs) Kaushalya Mendia