Lama Manasika Suwathawaya ළමා මානසික සුවතාවය පිළිබඳ දැනුවත් විය යුත්තේ ඇයි

 

කාන්තාවකගේ උත්තරීතරම පදවිය වන මවු පදවිය ලද ඔබ හෝ එය ලැබීමට ඇඟිලි ගණින ඔබ හෝ, ඔබගේ දෝතට පත් කිරිකැටියා මතු යම් දිනක, සමාජයේ වටිනා මිනිසකු වීම දැකීම හැර වෙනත් උතුම් බලාපොරොත්තුවක් නැති බව අපි හොඳින් දනිමු.

දරුවකුගේ මානසිකත්වය පිලිබඳ දෙමාපියන් ලෙසත් ගුරුවරුන් ලෙසත් මනාව වටහා ගැනීම, හෙට දින වඩා යහපත් සමාජයක් බිහිකිරීමෙහිලා ඉමහත් පිටිවහලක් වේ. එමෙන්ම, ඔබගේ දරුවාගේ යහපත් සෞඛ්‍ය පුරුදු, මනා පෞර්ෂය වර්ධනය සහ ක්‍රියාකාරීත්වය දැක තෘප්තිමත් දෙමාපියන් ලෙස කල්ගෙවීම තරම් භාගයක් තවත් වේද?.

 

ශරීර වර්ධනය වගේම මානසික වර්ධනයත් වැදගත්...

ළමයකුගේ ශරීර වර්ධනය සඳහා ඔහුගේ සතුටුදායක මානසිකත්වය අනිවාර්ය අංගයකි. එබැවින්  ළමාවියේදී ඇතිවන මානසික ගැහැට,මවු හෝ පිය සෙනෙහස අහිමිවීම, සාංකාව ආදිය ඔහුගේ මනා වර්ධනය අඩාල  කරන ප්‍රධාන සාධක අතර වේ.

ශරීර වර්ධනය මෙන්ම මනා පෞර්ෂ වර්ධනය උදෙසාත්, ඉදිරිපත්වීමේ හැකියාව, සිය ආවේග පාලනය කරගැනීමේ හැකියාව, විවිධ අනියත භිය වර්ග(phobias ) වලින් මිදීම,නොයෙක් ආකාරයේ අතහැර ගත නොහැකි සිතිවිලි සහ හැසිරීම්  (obsessions and compulsions) ආදිය සඳහා නිසි  වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සෑම වැඩිහිටියෙක්ම ළමා මනස වටහාගෙන සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

 

ජීවිතයේ එක එක අවධියයන්...

මානව කළලයේ සිට වයස අවරුදු දහඅට දක්වා විහිදෙන ජීවියාගේ මනස අධ්‍යයනය කිරීම සහ තත්කාලීනව ඔහු හෝ ඇය ආමන්ත්‍රණය කිරීම ළමා මනෝ විද්‍යාවේ අභිප්‍රායයි. කළල අවස්ථාවේ සිට වයස අවරුදු පහ තෙක් 'මුල් ළමා විය' ලෙසත්, ඉන් අනතුරුව 'ළමාවිය ' ලෙසත් වයස දහයේ සිට දහඅට දක්වා 'යව්වනොදය'  ලෙසත් බෙදා දැක්වේ. ඉදින් මේ සියලු අවදි වලදී මේ කුඩා ජීවියා සුරැකීම, වර්ධනය කිරීම, අධ්‍යාපනය ලබාදීම වැඩිහිටි අපගේ යුතුකම සහ වගකීම වේ.

 

ගර්භණී සමයේ සිටම මේ ගැන සැලකිලිමත් වන්න...

වත්මන් වෛද්‍ය විද්‍යාවට අනුකූලව ගැබිණි සමයේ මුල් ම වකවානුවල සිටම තම දරුවාගේ මොලය වර්ධනය උත්තේජනය සඳහා මව්වරුන්ට අප විසින් උපදෙස් දෙනු ලැබේ.සති විස්සේ පමණ සිට කුස තුල සිටින දරුවාට අවට ශබ්ද ඇසීමට පටන් ගන්නා හෙයින් සිත් සංසිඳුවන සංගීතය, පිරිත්, භජන්  ආදී යහපත් ශබ්ද ශ්‍රවනය වීමට සැලැස්වීම සුදුසු වේ. මවගේ සිත කලහකාරී හෝ කලබලකාරී නොවිය යුතු සේම මවගේ මනසේ නිස්කලංක බවද ඉතාම වැදගත් වේ. පළපුරුදු ආචාර්යවරයකුගේ අනුදැනුම යටතේ සුදුසු යෝගා ව්‍යායාම වල යෙදීම, නිරතුරුව සතුටින් සිටීම හා ආගමික කටයුතුවල හැකි සෑම විටම නිරත වීම මවගේ මෙන්ම කුසතුල සිටින දරුවාගේද ශාරීරික හා මානසික සුවතාව සඳහා ඉවහල් වේ.

 

ළමා වියේ මානසික වර්ධනය යෞවනයටත් වැඩිහිටි දිවියටත් බලපානවා...

යව්වනොදය කරා පියනගන ඔබේ ආදරණීය දුව හෝ පුතා තාරුණ්‍යයේදී සිදුවන ශාරීරික වෙනස්වීම් හා මානසික වෙනස්වීම් වලට මුහුණ දෙන විට, සුදුසු පරිදි ඔවුන්ගේ හැසිරීම කළමනාකරණය කිරීම සඳහා ඔබ සුදානම් කිරීම ළමා මානසික සුවතාව පිලිබඳ දැනුවත් වීම මගින් ලැබේ. ළමයින් තාරුණ්‍යයට පියනගනවිය ඇතිවන මාපිය දූදරු සබදතාව බිඳවැටීම වළක්වාගෙන තම දරුවාව අවබෝධකරගැනීමේ  හැකියාව ලබාගැනීමට දෙමාපියන් විශේෂ උත්සාහයක් ගත යුතු වේ. එමෙන්ම දරුවා විවිධාකාරයේ ඇබ්බැහි වීම් හා නුසුදුසු ආශ්‍රයන්ගෙන් මුදවා ගැනීමට වැඩිහිටියන් වඩා ඥානාන්විත ක්‍රියාමාර්ග ගතයුතුවේ. තමන්ගේ ආදර්ශවත් හා ඉවසිලිමත් හැසිරීම දරුවන්ගේ යහපත් පැවැත්ම උදෙසා හේතුවනබව අප සැමදෙනාම වටහා ගත යුතු වන සත්‍යකි.