Mawkiri Deema Gana Oba Danagatha Yuthuma Daa මවුකිරි දීම ගැන ඔබ දැනගත යුතුම දෑ

 

මව්කිරියනු අලුත උපන් දරුවකුට ලොව ඇති වඩාත්ම සුදුසු ආහාරය බව අපි මීට පෙරත් සාකච්චා කළා මතකයි නේද? අද අපි ඔබට ගෙන හැර දක්වන්නේ මව්කිරි දෙන ඔබට දකින්න ලැබෙන වැදගත් දේවල් 5ක් පිළිබඳවයි. සමහරවිට එයින් ඔබ ඉතාම උනන්දු වෙයි මව්කිරි දීම නිසා ඔබේ බර වැඩි වෙනවාද අඩු වෙනවාද යන්න දන ගැනීමට. තවදුරටත් මෙම ලිපිය කියවා බලා ඒ ගැන දැන ගන්න....

 

මව්කිරි දුන් විට නිදි මතක්/ ඇඟට පණ මදි බවක් දැනෙනවාද?

ඇතැම් මවුවරුන් අතර දකින දෙයක් තමයි මවු කිරි දුන්පසු මඳක් පණ නැති ගතියක් හෝ නිදි මත ගතියක් දැනීම. ඒ සමගම ඔබ අධික ලෙස මහන්සි හෝ අධික මානසික ආතතියට පත්වී නැතිනම් ඔබට දැනේවි යම් කිසි සිතේ සැහැල්ලු ගතියකුත්. ඇයි මෙය සිදු වන්නේ? මෙයට හේතු වන්නේ ඔබේ ශරීරයේ ඇති හෝමෝන ක්‍රියාවලියකි. ඔබේ ශරීරය තුල නිපදවෙන මවුකිරි තන පුඩුව ඔස්සේ දරුවා වෙත යැවීමට උදවව් වන මෙම හෝමෝනය මගින් සිදුවන තවත් දෙයක් ලෙස ඔබ ශාරීරිකව හා මානසිකව සන්සුන් කිරීම දකින්නට පුළුවන්. එනිසා ඔබ කලයුත්තේ මව්කිරි දීමත් සමග සුළු විවේකයක් ගැනීමයි. නමුත් මෙම තත්වය ඔබට අධික ලෙස බලපාන්නේ නම් ඔබ නිදා වැටී දරුවා ඔබේ අතින් බිමට වැටීමට ඉඩ තබන්න එපා. දරුවා ආරක්ෂාකාරී ස්ථානයක තබාගෙන කිරි දෙන්න. ඉන්පසු දරුවා නොවැටෙන තැනක තබා ඔබ සුළු විවේකයක් ගැනීමට උත්සහ කරන්න.

 

මව්කිරි දීම බර අඩු කර ගැනීමට උදවු වෙයිද?

ඇත්තෙන්ම ඔබ ආහාර මනා ලෙස පාලනය කරයි නම් (බඩගින්නේ නොසිට පෝෂ්‍යදායි ආහාර වැඩිපුර ගෙන තෙල්/පිටි/සීනි අවශ්‍ය පමණට පමණක් ගෙන සිටීනම්) මව්කිරි දෙන ඔබට බර අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙයට හේතු වන්නේ මවු කිරි යනු අධික මේද සහ ශක්ති ජනක අඩංගු ආහාරයක් වීමයි. එය දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යයි. එනිසා ඔබේ සිරුරේ ඇති මේදය සහ ශක්ති ජනක දරුවාගේ සිරුරට මවුකිරි මගින් ලැබෙනවා. ඔබ මතක තබා ගත යුතුයි එම ලබාදුන් ප්‍රමාණය සහ ඔබේ ශරීරයේ පැවැත්මටත් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට. කෙනෙකුට බර යම් ප්‍රමාණයකට පාලනය සඳහා පොදු ආහාර සැලැස්මක් නියම කල නොහැකියි, මොකද අයෙකුගෙන් අයෙකුට ශක්තිය වෙනස් ප්‍රමාන වලින් අවශ්‍ය නිසාත් එක් එක් අයගේ ශරීරය ආහාර දිරවීම සහ උරාගැනීම් මට්ටම් වෙනස් නිසාත්.

 

මව්කිරි වෑස්සීම (ගලා ඒම)

දරු සෙනෙහසේ අරුමය වන්නේ ඔබ මව් පදවිය ලැබීමත්, ඔබේ හිත දරු සෙනෙහසින් පිරීමත් සමග මව්කිරි නිපදවීම වැඩි වීමයි. එපමණක් නොවේ සමහර කිරි දෙන මව්වරුන්ට දරුවකු දකින විට, දරුවකු හඬනු දකින විට, තමන්ගේ දරු පැටියා ගැන සිතන විටත් මවු කිරි ගලා ඒම දැනෙනු ඇත. මෙය අසාමාන්‍ය නොවේ. සොබා සොබාදහමේ අපූරු නිර්මාණයකි. මෙම තත්වය ඔබටත් පවතී නම් ඔබට හැකියි “Nursing Pads” ලෙස හඳුන්වන තනපුඩුවට තබන කිරි උරාගන්නා දෙය භාවිතා කිරීමට.

 

එක තන පුඩුවකින් අඩුවෙන් කිරි ලැබීම

මෙයත් සාමාන්‍ය තත්වයක් සමහර මව්වරුන්ගේ එක තනපුඩුවකින් අඩුවෙන් කිරි ලැබීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව ඔබ එක දිගටම එක තන පුඩුවකින් පමණක් කිරි දුන් විටත් අනෙක් පුඩුවෙන් අඩුවෙන් කිරි නිපදවීමට ඉඩ තිබෙනවා. එනිසා වරින් වර තන පුඩුව මාරු කරමින් කිරි දෙන්න අමතක කරනන් එපා.

 

මව්කිරි මුලින් දියාරු අතර කල් යන විට ඝනකම් වීම

මවු කිරි වල ඝනත්වය කාලයත් සමග වැඩි වීමක් ඔබ දුටුවොත් කලබල වන්නට එපා. එයට හේතුව මුලදී මවු කිරි මගින් දරුවාගේ පිපාසය නිවීමටත්, දරුවාට අවශ්‍ය ඛනිජ ලවන වැඩියෙන් ලබා දීමටත් අවශ්‍ය ලෙස කිරි වල ගතිය වැඩියෙනුත්, කලක් යන විට දරුවාගේ ශරීරයේ වැඩීමට අවශ්‍ය මේද සහ ශක්තිජනක වැඩි කිරීමටත් මව්කිරි ස්වභාවික ලෙසම වෙනස්වීමයි. තවද, දවසේ හවස් වන විට කිරි වල ඇති නිදිමත ඇතිකරන රසායනික මට්ටමත් ඉහල යනවා. පුදුමාකාරයි නේද එය දරුවාගේ වර්ධනයටත්, හැසිරීමටත් අවශ්‍ය ලෙස මව්කිරි ස්වභාවිකවම වෙනස් වීම? එනිසා දරුවා නිසි ලෙස වැඩෙන තුරු මව්කිරි දීම නම් නවත්වන්න එපා…