obe samath viyalida මේ දිනවල ඔබේ සමත් වියලීද

සම පැහැපත්ව තබා ගැනීම සෑම යුවතියකගේම මෙන්ම සෑම කාන්තාවකගේම සිහිනය වී තිබේ. සමේ පැහැපත් කමට මූලික අවධානයක්‌ යොමු කළද සමේ නිරෝගීබව ගැන අවධානය යොමු කරන පිරිස අඩුවීම හමුවේ බොහෝ කාන්තාවන් සම අවලස්‌සන කර ගන්නා තත්ත්වයක්‌ තිබේ.
 
 අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාව වන්නේ පැහැපත් සම යන කාරණාව නොව නිරෝගීමත් සම යන කාරණාවටයි.
 
 නිරෝගීමත් සම ලස්‌සනට බලපාන බව මතක තබා ගැනීම තුළ සැමදා රුවැති සිරුරකට හිමිකම ලබා ගැනීමේ හැකියාව තිබේ.
 
 නිරෝගීමත් කම පිළිබඳව කතා කිරීමේදී වියළි සම බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. වියළි සම රුව අවලස්‌සන කරනු ඇත. වියළි සමක්‌ ඇති වන්නේ කුමන හේතුවක්‌ මතද යන කාරණාව සමඟ එයින් වැළකෙන්නේ කෙසේද කියා බලමු.
 

සම වියළෙන්නේ ඇයි?

වියළි සම බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. එය ජීවිතයේ කුමන කලකදී වුව මතුවිය හැක. මෙය රෝගයක්‌ම නොවුවත් සමහරක්‌ දෙනා එයින් මානසික පීඩාවට පත්වේ. එමෙන්ම අධිකව සම වියළීම නිසා නිරෝගී සමක පෙනුම නැතිවී අවලස්‌සන පෙනුමක්‌ ඇතිවේ. සම කොරළ ස්‌වභාවයක්‌ ගනී. සම මතුපිට ඉරි වැනි ස්‌වභාවයක්‌ ඇතිවිය හැක. රුව අවලස්‌සන වීමට මෙය ප්‍රධාන එක්‌ හේතුවක්‌ ලෙසින් නම් කිරීමේ හැකියාව තිබේ. ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වියළි සම නිරෝගී සමක පෙනුම නැති කරනු ඇත.
 

 වියළි සම ඇතිවෙන්නේ ඇයි?

1. ජාන මගින් (උපතින්ම ඇතිවන වියළි සම)

මෙයට හේතු සාධක වන්නේ සමහරක්‌ අයට ජාන මගින් වියළි සම ඇති වීමයි. මෙම තත්ත්වය විවිධ මට්‌ටමින් මතුවිය හැක. ඉතා තදබල ලෙස රෝගය ඇති අයට ළදරු අවදියේම රෝගය ඉස්‌මතුවේ. නමුත් සමහර අයට අවුරුදු 6-10 අතර වයසේදී මුලින්ම රෝගය ඇතිවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් අත්වල සහ කකුල්වල සම කොරළ වශයෙන් ගැළවී යැම සිදුවේ. සමහර විට බෙල්ලේ සහ ඇඟේ සම ද මෙම තත්ත්වයට ගොදුරු වේ. සමහරුන්ගේ ඉතා සුළු වශයෙන් පොතු ගැළවීම සිදුවන අතර සමහරුන්ගේ පොතු ගැළවීම පීඩාකාරී වේ.

 2. විවිධ සර්වාංග රෝගී තත්ත්වයන් නිසා ඇතිවන වියළි සම

ශරීරයේ ඇති විවිධ රෝග නිසා වියළි සම ඇතිවිය හැක.
 

 1. තයිරොයිඩ් හෝර්මෝනයේ අඩු හෝ වැඩි බව

2. අක්‌මාවේ රෝගී තත්ත්වයන්

3. වකුගඩු රෝගී තත්ත්වයන්

4. විටමින් ඌනතා

 5. autoimmunc diseases

මෙම ශාරීරික රෝග නිසා ඇතිවන වියළි සම බොහෝ විට මුළු ශරීරයට ම බලපායි. එහිදී ශාරීරික රෝගයේ රෝග ලක්‍ෂණද ඒ සමඟ බොහෝ විට දක්‌නට ලැබේ.

 3. සමහරක්‌ ඖෂධ

 ශරීරයේ මේදය අඩු කරන ඖෂධ

 4 වයස්‌ ගතවන විට

 මහලු වයසේදී බොහෝ විට වියළි සම දක්‌නට ලැබේ. මෙය වයසත් සමඟ ඇතිවන තත්ත්වයකි. නමුත් ඉතා තදබල ලෙස, ප්‍රතිකාරවලින් සුවපත් කළ නොහැකි හා ඉතා ඉක්‌මනින් වර්ධනය වූ වියළි සම සඳහා රුධිර පරීක්‍ෂාවන් සිදු කිරීමට සිදුවේ.

 5 මන්ද පෝෂණය/ විටමින් ඌනතා

 නිරෝගී පැහැපත් සමකට විටමින් සහ විවිධ ඛනිජලවණ (ඔර්ජැ eසැපැබඑ) ඉතා වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි. විශේෂයෙන්ම විටමිනA A සහ විටමින් C ඌනතාවය නිසා අවපැහැ වියළි සමක්‌ ඇතිවේ. මීට අමතරව ශරීරයට අවශ්‍ය ක්‌ෂුද්‍ර මූලද්‍රව්‍ය සහ ඛනිජලවණ ද නිරෝගී පැහැපත් සමකට ඉතා වැදගත් වේ.

 5 . පරිසර හේතූන්

සමහර කාලගුණ තත්ත්ව විශේෂයෙන්ම වියළි තද සුළං පවතින සීතල කාලගුණයේදී සම ඉක්‌මනින් වියළි යන අතර ඉරි තැලීම් සිදුවේ. (නුවරඑළියේදී)
 
 ප්‍රතිකාර
 
 වියළි සම සඳහා තිබෙන ප්‍රතිකාර බොහොමයක්‌ තිබෙන්නේ ඒ ඒ අවස්‌ථාවට අසීරුතාව මගහරවා ගැනීම සඳහාය.
 
 ශාරීරික රෝගයක්‌ (උදාහරණ ලෙස තයිරොයිඩ් ආබාධයක්‌) හඳුනාගතහොත්, ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් වියළි සම නැතිකර ගත හැක.
 
 එසේ නොමැති අවස්‌ථාවල ප්‍රධාන වශයෙන් සිදුවන්නේ, වියළි සමට මොයිස්‌චරයිසර් ක්‍රීම් භාවිතා කිරීමයි.
 
 මෙම රෝගීන් සබන් වෙනුවට Aqueous Cream වැනි ක්‍රීම් වර්ගයක්‌ භාවිත කළ යුතුය. (මෙම ක්‍රීම් ඕනෑම ෆාමසියකින් ලබාගත හැක) මීට හේතුව බොහෝ සබන්වලින් සමේ ඇති ස්‌නේහ ස්‍රාවී ග්‍රන්ථි ස්‍රාවයන් සෝදා හරින අතර එයින් සම ක්‌ෂණිකව වියළි තත්ත්වයට පත්වේ.
 
 ඒ හැරුණු විට සමේ ඇති වියළි ස්‌වභාවය සහ කොරළ ස්‌වභාවය මත විවිධ ආලේපන ඇත. 
 
 අධික වශයෙන් වියළි සමක්‌ පවතින අයට විශේෂ ක්‍රීම් වර්ග වෛද්‍ය උපදේශනයකින් පසුව නිර්දේශ කෙරේ. මෙම ක්‍රීම් මිල අධික නොවන අතර නිතර නිතර භාවිත කළ යුතුය.
 
 එසේම මෙම ක්‍රීම් ගැල්වීමේදී ශරීරයේ රෝම වර්ධනය වන පැත්තට පමණක්‌ ආලේප කළ යුතුය.
 
 උදාහරණ වශයෙන් කකුලේ උඩ සිට පහළට පමණක්‌ පිරිමැදිය යුතුය. එසේ නොමැති වූ විට සමේ ආසාදන (Follic ulitis) ඇති විය හැක. 
 
 මෙම ක්‍රීම් වර්ගවලින් තමන්ට හොඳින්ම ගැළපෙන ක්‍රීම් වර්ගය දිගු කාලීනව භාවිත කළ යුතුය. එමෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සම සේදීමෙන් පසුව පිසදමා වහාම ක්‍රීම් ආලේප කළ යුතුය. මෙම ක්‍රීම් වර්ග ආලේප කළ පසු තාවකාලිකව සමේ වියළි බව නැතිවේ. එම නිසා එම ක්‍රීම් වර්ග නැවත නැවත දිගු කාලයක්‌ භාවිත කළ යුතුය.
 

 කතිකාචාර්ය සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
 
 සංජීවනී ෆොන්සේකා වෛද්‍ය පීඨය පේරාදෙණිය - විශ්වවිද්‍යාලය

divaina.com