Yasawathi Gurumaniyo යසවතී ගුරු මෑණියෝ Picture

sath wagaka seth sadana maga

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සබ්බේ තසන්ති දණ්ඩස්ස 
සබ්බේ භායන්ති මච්චුනො 
අත්තානං උපමං කත්වා 
නහනෙය්‍ය න ඝාතයෙ

සකල ජන සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.

මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු පිරිසක් හා සතළොස්වග හෙවත් දාහත් නමකගෙන් වර්ග වූ භික්ෂු පිරිසක් අතර ගැටුමක් හටගෙන එය දණ්ඩනයෙන් කෙළවර විය. හේතුව සෙනසුන්වල අයිතිය බෙදා ගැනීමට යාම ය.

එක් දිනක් සතළොස්වගට අයත් භික්ෂූහු සැතපීමට සෙනසුන් පිළියෙල කරගත්හ. සවග භික්ෂූන් වැඩිමහල් වන අතර එම සෙනසුන් බලහත්කාරයෙන් ගන්නට ප්‍රයත්න දරනවිට සතළොස් භික්ෂූන් එයට අකමැති වූ බැවින් සවග භික්ෂූහු සතළොස් වග භික්ෂූන්ට පහර දුන්හ. අප බුදුරජාණන් වහන්සේ මෙම කාරණය නිමිති කරගෙන විනය නීතියක් පනවා මෙම උතුම් ගාථා ධර්මයෙන් ලෝකයේ සෑම සත්වයන්ගේ ම වන ස්වභාව ධර්මයක් දේශනා කළ සේක.

සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. එමෙන් ම මරණයට බියවෙති. සියලුම සත්වයෝ තමාගේ ජීවිතයට පි‍්‍රය කරති.

පින්වත්නි, මාතෘ ගර්භයේ කළල රූපයේ පටන් පිළිවෙලින් වැඩෙන, ඉපදෙන්නට සිටින, ඉපදෙන, යළි ක්‍රමයෙන් වැඩෙන මැරෙන තුරු ජීවිතය ගෙන යන සියලු සත්ත්වයන්ගේ එකම අපේක්ෂාව ජීවත්වීමයි. ඒ අපේක්ෂාව කුමන ක්‍රමයකින් හෝ බිඳවැටීමට අකැමැත්තක්, භීතියක් , ත්‍රාසයත්, එකවන් ව ඇති වන්නේ ය.

මෙම විශ්වයේ උපදින සත්වයන් කෙදිනක හෝ මරණයට පත්වීම ඒකාන්ත සිද්ධියකි. එම ස්වභාවික සිද්ධාන්තය පෙනි පෙනී කිසියම් ජීවියෙක් තවත් ජීවිතයට වධබන්ධන කරන්නේ, කරවන්නේ හෝ අනුබලයක් දෙන්නේ නම් හෝ එය මහා පාප කර්මයකි. මිනිසුන් වශයෙන් අමනුෂ්‍ය ක්‍රියාවකි. මානව අයිතියක් නැතිකිරීමකි.

ආත්ම දෘෂ්ඨිය ඇති බැවින් රහත් නොවු සෑම සත්වයා ම දඬුවම ඉදිරියේ ත්‍රාසයට, භිතියට, නැසීමට බිය වන්නේ ය. ‘සබ්බේ සත්තා’ සියලු සත්වයෝ, යන වචනයෙන් ගම්‍යමානවන සත්ත්ව ලෝකය සංඛ්‍යා වශයෙන් ගණනය කළ නො හැකි වුව ද, මනසට ඒකකයක් වශයෙන් ගත් කල කරුණාව, මෛත්‍රිය යන උතුම් චෛතසික මාර්ගයෙන් අධ්‍යාත්මය විවෘත කළ හැකි වන්නේ ය. එය කළ හැකි වන්නේ සත්පුරුෂ ගුණ ඇති මිනිසාට පමණි. තණ්හාව ,ක්‍රෝධය, මාන්නය යන අකුසල හැඟීම් නිසා සංවෘත වන සිතකින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන වචනය කොපමණ කීවත් අර්ථයක් වන්නේ නැත.

සිතක් පවිත්‍රවීමට තණ්හාව, ක්‍රෝධය, මෝහය යන අකුසල මූලයන් තදංග වශයෙන් යටපත් කිරීමට හෝ මුලින් ම සිද බිඳ දැමිය යුතු වන්නේ ය. සෝවාන් මාර්ග චිත්තයට පෙර පවත්නා සමාජමය වශයෙන් ජීව ලෝකයට උපරිම සේවාවක් සිදුකරන්නේ නම් ලෝභාදි අකුසල මූලයන් තදංග වශයෙන් හෙවත් මෛත්‍රි චේතනාවට අනුකූල වශයෙන් යටපත් කළ යුතුවේ. එසේ නොව පරාර්ථ සේවය මිථ්‍යාවක් ම වන්නේ ය.

සමස්ත මානව පරපුර ම අධිතණ්හා ජාලයේ වෙළී අන්‍යෝන්‍ය වශයෙන් ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසනය කරන්නේ වංක චේතනාවෙන් නිසා වන්නාවු කරදර හිරිහැර, අතුරු ආන්තරා යුදබිය, මරණ බිය,අපමණ ය. සත්ත්ව හිංසාව සෙසු අකුසලයන්ට වඩා දරුණු විපාක දෙන මහා පාප කර්මයකි.

පාණාතිපාතො භික්ඛවේ ආසෙවිතො, භාවිතො බහුලීකතො නිරය සංවත්තනිකොහොති. කරච්ඡානයොනි සංවත්තනිකො හොති, පෙත්තිවිසය සංවත්තනිකොහොති. යො සබ්බලහුසො පාණාතිපාතස්සවිපාකො මනුස්සභූතස්ස අප්පායුක සංවත්තනිකොහොති.

මිහිමත ප්‍රාණීන් හටගැනීමත්, මනුෂ්‍ය ප්‍රාණීන් ඇතිවීමත්, කාල පරිච්ඡේද වශයෙන් තීරණය කිරීමට නොහැකි අතර මෙතෙක් පියවර තැබු සත්ත්ව පරම්පරාවේ ඉතා දරුණුතම විපාක දෙන පාපකර්මය වූයේ සත්ත්ව හිංසාව බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. වර්තමාන මානව පරපුර විශ්ලේෂණය කිරීමේ දී මිනිසාට මුහුණ පාන්නට සිදුවන අතිභයානක ව්‍යසන, කරදර අවුල් වියවුල් ළඟාවන්නේ ප්‍රාණඝාතය මූලික කරගෙන ය.

අප බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මෙම අවිහිංසාව පුරුදු පුහුණු කොට සත්වයාගේ ම යහපත සඳහා පාණාති පාතා වේරමණී ශික්ෂා පදය මතු මත්තෙහි නිවන් සුවයට පෙරමග පියසටහනක් වශයෙන් පනවා වදාළ සේක. එම ශික්ෂණය, ඉවසීම,අධිෂ්ඨානය, යථා ලාභයෙන් ලබන සන්තෝෂය ආදි පවිත්‍ර චේතනාවන්ට මහෝපකාරිවන්නෝ ය. තව ද අහසේ පොළවේ , ජලයේ ඇමීබාගේ පටන් කුදුමහත් අසංඛ්‍ය සංඛ්‍යාත ප්‍රාණීන් කෙරෙහි මනස විවෘත වන්නේ ය.

මානව ශිෂ්ඨාචාරයේ පදනම වන්නේ ද පරම අවිහිංසා ධර්මය බව ඓතිහාසික වාර්තාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.අප බුදුරජාණන් වහන්සේ ජෛන මහාවීර, කොන්ෆියුසියස් ආදී මහා දර්ශනිකයන්, චින්තකයන්, උත්තමයන් මානව පරපුරේ පැවැත්මට අදාළව ආදර්ශයෙන්, දේශනයෙන් මහෝපකාරී වූයේ පරම අවිහිංසාව මූලික කරගෙන ය.

සමාජමය වශයෙන් පුද්ගලාන්තර සමගිය ගෙදරක පවුල් ජීවිතයේ පටන් ගම් නියම්ගම් ප්‍රදේශ නගර දේශ දේශාන්තර ලෝක, ලෝකාන්තර සමස්ත විශ්වය ම ඒකාබද්ධව භෞතික සංයුක්තයක් වශයෙන් මෙන් ම අධ්‍යාත්මික ශක්තියක් වශයෙන් ද අවිහිංසා ධර්මය උතුම් වන්නේ ය. සත්වයෙකුගේ සංසාර පැවත්ම ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහා දුක් ජාලයකට හේතු කාරක වන්නේ ය. එසේ නම් සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී ව ජීවත්වීමට ද සසරින් එතෙරව සදාකාලික නිවනින් සැනසීමට ද ප්‍රාණඝාත අකුසලයෙන් වෙන්වීමට උත්සාහ ගන්න.

අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය 
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි

budusarana.lk